අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ඇල්ලූ සැකකාර සහෝදරයන් රිමාන්ඩ් - අනෙක් සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
February 18, 2026 03:38 pm
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සහෝදරයන් දෙදෙනා මාර්තු මස 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කර තිබේ.
ඒ එම සැකකරුවන් දෙදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එමෙන්ම ඊයේ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුව පැය 72ක් රඳවාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී ඇත.
තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.
පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්රවාහනය කළ සොහොයුරන් දෙදෙනකුව කොට්ටාවේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්රදේශයේදී පොල්ගස්ඕවිට 'ඩිලා' නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්රවාහනය කළ බවත් ඒ සඳහා 'ඩිලා' නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
