රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

February 20, 2026   02:39 pm

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා ආරම්භ කර ඇති "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 99,000 ඉක්මවා ඇතැයි පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 99,540ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

තවද අදාළ මෙහෙයුම් මගින් සැකකරුවන් 137කට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශනද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවද සැකකරුවන් 1,973කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමටද, පුනරුත්තාපනය සඳහා පුද්ගලයින් 1,639 යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එමෙන්ම මෙම වැටලීම් මගින් හෙරොයින් කිලෝ 524යි ග්‍රෑම් 906ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,416 ග්‍රෑම් 41ක්ද පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

මීට අමතරව ගංජා කිලෝ 3,506 ග්‍රෑම් 298ක්, කොකේන් කිලෝ 11 ග්‍රෑම් 674ක්ද, කුෂ් කිලෝ 199 ග්‍රෑම් 864ක්, හෂීස් කිලෝ 121 ග්‍රෑම් 962ක් සහ මත්පෙති 932,976ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසූ පොලීසිය සඳහන් කළේ වැටලීම් 100,247කට අදාළව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්වූ බවය‍.

මේ අතර ඊයේ දිනයේදී රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 764ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

වැටලීම් 766කට අදාළව මෙම සැකකරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

එම වාර්තාව පහතින්,

විශේෂ මෙහෙයුම් මගිනුත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

මේ අතර අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (19) දිනයේදී ද සැකකරුවන් රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම මෙහෙයුම් යටතේ සැකපිට පුද්ගලයින් 552ක් අත්අඩංගුවට ගත් බවය.

එහිදී අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 17ක් සෘජුව හඳුනාගෙන ඇති අතර වරෙන්තුකරුවන් 259ක්ද, විවෘත වරෙන්තුකරුවන් 164ක්ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම බීමත් රියදුරන් 289ක්, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ පුද්ගලයින් 55ක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

එමෙන්ම රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,997කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලීසිය මෙම මෙහෙයුමේදී පියවර ගෙන තිබේ. 

විශේෂ මෙහෙයුම් වාර්තාව by poornima