පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා - සිරිල් ගාමිණි පියතුමා 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා - සිරිල් ගාමිණි පියතුමා 

February 26, 2026   11:37 am

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය.

අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

"මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය අය. මිය ගිය අය අතර හැම ආගමකටම, හැම ජාතියකටම අයිති අයත් ඉන්නවා. මේක සමූළ ඝාතනයක්. 

මේක පිටුපස තියෙන සත්‍ය හොයාගැනීම කියන්නේ, මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා ඕනෑ කෙනෙකුට අවබෝධ වෙන දෙයක්. එහෙම නොවුණොත්, සිද්ධ වෙන්නේ නීතියට සමහරු බය නැහැ කියන එක. යම් අපරාධයක් කරලා සැඟවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපරාධ කිරීමට බිය නොවීම කියන එක ඔප්පු වෙනවා. මේක අපිට පිළිගන්න බෑ. 

මේ විදිහේ ප්‍රකාශ කරන සහ අත්අඩංගුවට ගැනීමට විවිධ අර්ථකථන දෙන අය දිහා බැලුවාම තේරෙනවා. ඒගොල්ලන්ගේ පිටුපස තියෙන න්‍යාය පත්‍රය මොකක්ද කියලා. ඒ නිසා මේක දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නැහැ. මේක සී.අයි.ඩී එක කරන ස්වාධීන විමර්ශනයක්.  ඒ විමර්ශන ස්වාධීනව කරන්න ඉඩ දෙන එක තමයි හොඳ. 
එහෙම නැතිව මේ විමර්ශන කඩාකප්පල් කරන උත්සහ අපි දකින්නේ මේ ප්‍රහාරයෙන් ඝාතනයට පත්වුණ සහ ආබාධිත වුණ වින්දිතයින්ට සිදු කරන අසාධාරණයක් ලෙසයි. ඒ නිසා අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, මේ විමර්ශනවලට බාධා කරන්න එපා. මේ විමර්ශන ඉදිරියට යන්න ඕනේ. ඒ විමර්ශනවලින්  යම් ප්‍රතිඵලයක් එයි කියලා අපි විශ්වාස කරනවා. 

මේකෙන් බොහෝ දෙනෙක් කතා කරන දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා ද නැද්ද කියලා සහ එහෙම තිබුණා නම් කවුද ඒක කළේ.? මේ ප්‍රහාරය සිද්ධ කළේ ඇයි කියන දේවල් අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. ඒකට කවුරු හරි බාධා කරනවා නම්  අපි  දකින්නේ ඒක වින්දිතයන්ට එරෙහිව කරන මහා අපරාධයක් හැටියට. ඒ නිසා කරුණාකරලා මේ විමර්ශන ඉදිරියට අරන් යන්න ඉඩදීලා ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා."