සිම්බාබ්වේට ලකුණු 257ක අසීරු ඉලක්කයක්
February 26, 2026 08:58 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) රාත්‍රියේ පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 256ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව සුපිරි 8ට වටයේ අඛණ්ඩව දෙවන වරටත් ලකුණු 250 ඉක්මවූ ඉලක්කයක් සිම්බාබ්වේට ලැබුණි.
මෙය විස්සයි20 තරග ඉතිහාසයේ කණ්ඩායමකට අඛණ්ඩව තරග 2කදී ලකුණු 250ට වැඩි ඉලක්කයක් හඹයෑමට සිදුවූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
සිම්බාබ්වේට එරෙහිව බ.ඉ. කොදෙව්වන්ද කඩුලු 6කට ලකුණු 254ක් රැස්කළේය.
ඉන්දියාව අද රැස්කළ ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.
එමෙන්ම එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව අබිබවා යෑමට ඔවුන්ට ලකුණු 4ක් ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකාව 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව කඩුලු 6කට ලකුණු 260ක් රැස්කර එම වාර්තාව පිහිටුවා ඇත.
සමස්ත ඉන්දීය ඉනිම පුරා හයේ පහර 17ක් හා හතරේ පහර 17ක් වාර්තා විය.
ඉන්දීය ඉනිම ඔසවා තැබූ අභිෂේක් ශර්මා පන්දු 30කින් ලකුණු 55ක් හා හර්දික් පාන්ද්‍යා පන්දු 23කින් නොදැවී ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය.
එමෙන්ම තිලක් වර්මා පන්දු 16කින් ලකුණු 44ක් රැස්කරද්දී, නායක සූර්යකුමාර් යාදව් ද පන්දු 13කින් ලකුණු 33ක් ඉන්දීය ඉනිමට එක්කළේය.
චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
