ඉන්දු - ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා - මෙරට ඉන්දියානු මහකොමසාරිස්
February 27, 2026 11:49 am
ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා - ඉන්දියා සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම සහ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමිනි.
ශ්‍රී ලංකා - ඉන්දියා සංගමයේ නිල සඟරාව එළිදැක්වීම සහ "Port of Call" ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරිය සහ මහ කොමසාරිස්වරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණ.
තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ඉන්දියාව අප සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කර සිටියාය.
ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු ව්‍යාපාරවලින් වැඩි ආයෝජන සහ ඉන්දියාවෙන් වැඩි සංචාරක ප්රවාහයන්ගේ පැමිණීම ඉතා සාදරයෙන් පිළිගන්නා බව ද ඇය පැවසීය.
ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ආර්ථික සංවර්ධනය, බලශක්තිය, සම්බන්ධතාවය, වෙළඳාම සහ ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව සහ ජනතාව අතර සම්බන්ධතාවය ඇතුළු බහුවිධ අංශ හරහා විහිදී තිබේ.
ඉන්දියාව සමීපතම අසල්වැසියා සහ වැදගත් හවුල්කරුවෙක් බවත්, ලාංකීක ජනතාවගේ සහ කලාපයේ යහපත සඳහා සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද හරිනි අමරසූරිය අවධාරණය කළාය.
"පසුගිය වසර තුළ ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ශක්තිමත් බව අපි නැවත වරක් දැක්කා. විශේෂයෙන් දෙව්නිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙ රටට වැඩම කරවීමත්, ප්‍රදර්ශනය සඳහා පහසුකම් සැලසීමට ලබා දුන් සහයෝගයට අපි කෘතඥ වෙනවා.
ඒ වගේම දිට්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ විට, සාගර බන්ධු මෙහෙයුම හරහා පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ අතර, අපගේ ගලවා ගැනීමේ සහ සහන කටයුතුවලට දැක්වූ සහය ඉතා විශිෂ්ටයි."
1949දී පිහිටුවන ලද ශ්‍රී ලංකා - ඉන්දියානු සංගමය, දශක හතකට වැඩි කාලයක් පුරාවට දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දායකවී ඇත.
සංස්කෘතික සහභාගීත්වය, සංවාදය සහ තිරසාර අන්තර්ක්‍රියා තුළින්, අපගේ රජයන් අතර පමණක් නොවෙයි අපගේ ජනතාව අතර ද සබඳතාවලට සහාය වීමට මෙම සංගමය කටයුතු කර තිබීමත් විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ, ඉන්දු - ලංකා සබඳතාවල ඉහළ වර්ධනයක් වත්මන් කාලය තුළ දක්නට ලැබෙන බවය.
"දෙරට අතර පවතින සබඳතාව හුදු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය ශක්තිමත් සහ විශේෂ සබඳතාවක්. ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රි ලංකාව තුළ හඳුන්වා දීම හරහා අධ්‍යාපන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන්න කටයුතු කළා. ඒ වගේම සන්නිවේදන සම්බන්ධතා (Connectivity) සහ පුද්ගල සබඳතා වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී තිබෙනවා. ඉන්දු - ලංකා සබඳතාවල ඉහළ වර්ධනයක් වත්මන් කාලය තුළ දක්නට ලැබෙනවා."
