1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේ
March 1, 2026 07:26 am
දශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ.
ඒ එරට රාජ්‍ය මාධ්‍ය විසින් මේ බව අනාවරණය කිරීමත් සමගය.
කමේනිට අමතරව මෙම ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, මුනුපුරා සහ බෑණාද ඝාතනයට ලක්ව ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.
1939 වසරේ අප්‍රේල් 19 වැනි දින නැගෙනහිර ඉරානයේ මෂාඩ් හී උපත ලැබූ කමේනි එක්සත් ජනපදයේ සහාය ලත් ෂා මොහොමඩ් රේසා පහ්ලවි බලයෙන් පහ කළ 1979 විප්ලවයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ඉස්ලාමීය ක්‍රියාකාරිකයින් අතර සිටි අයෙකි.
ඉරානයේ පළමු උත්තරීතර නායක අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සමීප සගයෙකු වූ කමේනි නව ක්‍රමය හරහා නැගී එමින් 1981 සිට 1989 දක්වා ජනාධිපති ලෙස සේවය කළ අතර එම වසරේම කොමේනිගේ මරණයෙන් පසු උත්තරීතර නායකයා බවට පත්විය.
එහිදී කොමේනි මිය ගිය විට, විශේෂඥයින්ගේ සභාව - පූජකවරුන්ගේ මණ්ඩලය - නව උත්තරීතර නායකයා ලෙස අලි කමේනි තෝරා ගත් අතර, ෂියා පූජකවරුන් අතර අවශ්‍ය තරාතිරම ලබා නොතිබුණද ඔහුට බලය භාර ගැනීමට ඉඩ සලසන පරිදි ව්‍යවස්ථාව වෙනස් කළේය.
දශක ගණනාවක් බලයේ සිටි කමේනි, ඉරානයේ දේශපාලන හා ආරක්ෂක පද්ධතිය මත පාලනය තහවුරු කර ගත් අතර සැමවිටම එක්සත් ජනපදය සහ ජෙරුසලම කෙරෙහි දැඩි ස්ථාවරයෙක් කටයුතු කළේය.
එමෙන්ම ඉරාන දේශපාලනය සහ එහි සන්නද්ධ හමුදා කෙරෙහි දැඩි ග්‍රහණයක් පවත්වා ගෙන ගිය කමේනි, පාලක පද්ධතියට එල්ල වන අභියෝග, ඇතැම් විට ප්රචණ්ඩ ලෙස මර්දනය කළේය.
දැඩි මර්දනකාරී ක්‍රියාපිලිවෙතක් අනුගමනය කළ ඔහුගේ පාලන කාලය තුළ මරණ දඩුවම් ක්‍රියාත්මක වීමේ වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ අයිතිවාසිකම් කණ්ඩායම් විසින් වාර්තා කර තිබුණි.
ඒ අනුව පසුගිය 2025 වසරේදී ඉරාන බලධාරීන් විසින් එරට 1,000කට අධික පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එය අවම වශයෙන් වසර 15ක් තුළ වාර්තා කළ ඉහළම වාර්ශික අගය ලෙසද හඳුන්වා දී ඇත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ඉරානය 2024 දී අවම වශයෙන් පුද්ගලයින් 975 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවත් එය 2015 සිට ඉහළම සංඛ්‍යාව බවත් වාර්තා කර තිබුණි.
මැදපෙරදිග කලාපය පුරා කමේනි ඉරානයේ මිත්‍ර හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් ජාලය තුළට විශාල වශයෙන් ආයෝජනය කළ අතර එය ඉරාන බලය එහි දේශසීවාවෙන් ඔබ්බට යොමු කිරීමට භාවිත කළ උපාය මාර්ගයක් ලෙසද දැක්වේ.
හමාස් වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ඔහු ලබා දුන් සහාය, බටහිර ඉවුර සහ ගාසා තීරයේ සිට ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හූති අන්තවාදීන් මෙන්ම ඉරාකයේ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් දක්වාද කමේනි යටතේ ඉරානය මෙම ත්‍රස්ත කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගණනින් වියදම් කළේය.
1989 සිට ඉරානය භාරව සිටින කමේනි දැඩි මතධාරී පූජකයෙකු ලෙසින්ද සැලකේ.
දරුවන් හය දෙනෙකු සිටින කමේනිගේ පාලන සමයේදී ඉරානයේ ජනාධිපතිවරුන් හත් දෙනෙකුද සේවය කර තිබේ.
