ඩුබායි ගුවන්තොටුපොළවලින් සීමිත ගුවන් ගමන් කිහිපයක් අද සිට
March 2, 2026 08:56 pm
කලාපීය වශයෙන් පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවා පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට සඳහා අද (02) පස්වරුවේ සිට සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන බව Emirates ගුවන් සේවය නිවේදනය කර තිබේ.
මෙහිදී මීට පෙර ගුවන් ගමන් වෙන්කරවාගෙන සිටි මගීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත්, මෙම සීමිත ගුවන් ගමන් සඳහා නැවත වෙන් කිරීම් සිදුකළ මගීන් වෙත ඒ පිළිබඳව සෘජුවම දැනුම් දීමට පියවර ගන්නා බවත් එම ගුවන් සේවය සඳහන් කර ඇති බව වාර්තා වේ.
තහවුරු කරන ලද ගුවන් ගමන් තොරතුරු පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් ලැබෙන තෙක් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙස එමිරේට්ස් ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම සීමිත සේවාවන් හැර අනෙකුත් සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් මෙහෙයුම් කාලසටහන් ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු එමිරේට්ස් නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කරන බව සඳහන් වේ.
මේ අතර, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ Dubai International (DXB) සහ ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් - අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (Dubai World Central – Al Maktoum International) හරහා ක්‍රියාත්මක වන ගුවන් ගමන්වලින් සීමිත ගුවන් ගමන් කිහිපයක් අද පෙරවරුවේ සිට යළි ගමන් ආරම්භ කරන බව ඩුබායි ගුවන්තොටුපළ බලධාරීන් තහවුරු කර තිබේ.
අදාළ ගුවන් සමාගම විසින් පිටත්වීමේ වේලාව තහවුරු කරමින් මගියා වෙත සෘජුවම දැනුම් දීමක් සිදු කරන තෙක් ගුවන්තොටුපළ වෙත නොපැමිණෙන ලෙස සංචාරකයින්ට උපදෙස් දී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ කලාපීය ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවා තිබීමෙන් පසු, මගී තදබදය අවම කරමින් ක්‍රමවත්ව සේවා යළි ආරම්භ කිරීමේ අරමුණින් බව සඳහන් වේ.
