මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

March 3, 2026   06:16 am

UPDATE - 12.10 P.M 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාර්තු 6 වන සිකුරාදා දක්වා දුරස්ථ ඉගෙනීම පවත්වාගෙන යනු ඇති බව නිවේදනය කළේය.

මෙම පියවර රට පුරා සියලුම රාජ්‍ය හා පෞද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාලවල සිසුන්, අධ්‍යාපනික සහ පරිපාලන කාර්ය මණ්ඩලය සඳහා අදාළ වන බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

-------------------------------

UPDATE - 11.57 P.M 

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ ගෝලස්තාන් මාලිගයට හානි සිදුවීම පළිබඳව ඉරානය යුනෙස්කෝවට පැමිණිලි කරයි.

-------------------------------

UPDATE - 11.47 P.M 

ඉරාන යුද්ධය ආර්ථිකයන්ට හානි කරයි එය ‘හැකි ඉක්මනින්’ අවසන් වේ යැයි බලාපොරොත්තු වන බව ජර්මානු චාන්සලර් Friedrich Merz පවසයි.
-------------------------------

UPDATE - 11.35 P.M 

රුසියානු විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදය සිදුව ඇත.

එහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා මැදපෙරදිග යුද්ධයේ උත්සන්න වීම අවම කරන ලෙස ඉල්ලා සිටි බව මොස්කව් විදේශ අමාත්‍යාංශය පවසයි.
-----------------------------

UPDATE - 11.20 P.M 

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ දින දෙකක් තුළ 58,000 කට වැඩි පිරිසක් අවතැන් වෙති.

-----------------------------

UPDATE - 11.15 P.M 

ඕමානය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටී

-----------------------------

UPDATE - 10.46 P.M 

ඉරාන ප්‍රහාරවලින් පසු එක්සත් රාජධානිය සයිප්‍රසයට යුද නැව් සහ හෙලිකොප්ටර් යවයි.

------------------------

UPDATE - 10.27 P.M 

ඩුබායි සහ අබුඩාබි යන දෙරටේ ස්ථාන පිපිරුම් හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

-----------------------

UPDATE - 9.57 P.M 

අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් මැදපෙරදිග ආර්ථික මධ්‍යස්ථාන සියල්ලටම පහර දෙන බව ඉරානය පවසයි.

-----------------------

UPDATE - 9.52 P.M 

බේරූට් හි අමෙරිකානු තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමයි.

-----------------------

UPDATE - 8.45 P.M 

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වූ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ, ගුවන් ගමන් ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.

ගුවන්තොටුපොළ පාලක අධිකාරිය සඳහන් කරන්නේ, ඊශ්‍රායල ගුවන් සීමාව බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා අදියර දෙකක් යටතේ ක්‍රමයෙන් විවෘත කිරීමට නියමිත බවය.

-----------------------

UPDATE - 8.04 P.M 

ඊශ්‍රායල සහ අමෙරිකා ප්‍රහාරයකින් ඉරානයේ නව උත්තරීතර නායකයෙකු තේරීමට වගකිවයුතු ආයතනයක් වන Assembly of Experts ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බව ඉරාන දේශීය මාධ්‍ය වාර්තා කරයි.

-----------------------

UPDATE - 7.35 P.M 

සඳුදා සහ අඟහරුවාදා ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් 40 දෙනෙකු මිය ගොස් 246 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.


-------------------

UPDATE - 7.31 P.M 

ඊශ්‍රායලය විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට මහා පරිමාණ ප්‍රහාර රැල්ලක් ආරම්භ කරන බව IDF (ඊශ්‍රායල ආරක්ෂක හමුදාව) පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.


-----------------------

UPDATE - 7.27 P.M 

ඉරාන මිසයිල ප්‍රහාරයකින් මධ්‍යම ඊශ්‍රායලයේ පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

----------------------

UPDATE - 7.12 P.M 

ජෝර්දාන සිවිල් ගුවන් සේවා නියාමන කොමිසම සඳුදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අර්ධ වශයෙන් වසා දමා තිබූ රටේ ගුවන් අවකාශය නැවත විවෘත කිරීමට නිවේදනය කර ඇත.
---------------------

UPDATE - 6.52 P.M 

ඉරාන මිසයිල මධ්‍යම ඊශ්‍රායලයට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව පවසා ඇති බව සඳහන් වෙයි.

--------------------

UPDATE - 6.52 P.M 

ඊශ්‍රායලයේ ඉහළ ගලීලයේ පිහිටි ස්ථානයකට හිස්බුල්ලා සංවිධානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

---------------------

UPDATE - 6.48 P.M 

නැගෙනහිර සෞදි අරාබියේ ආසන්න ප්‍රහාරයක් ගැන අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.
---------------------

UPDATE - 6.42 P.M 

රටට එරෙහිව යුද්ධය උත්සන්න වෙමින් තිබියදීත් රජය ක්‍රියාකාරීව සිටින බවත්, රට පුරා රාජ්‍ය කටයුතු අඛණ්ඩව සිදුවන බවත් ඉරාන ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

--------------------

UPDATE - 6.36 P.M 

විදෙස් වාර්තා අනුව, අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමෙන් පසු, ඉරානය විසින් සාකච්ඡා ඉල්ලා සිටින බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරා පවසා ඇත්තේ, සාකච්ඡා සඳහා ‘ප්‍රමාද වැඩියි’ ඉරානය සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බවය.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා මේ බව පවසා ඇත්තේ, සිය Truth සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්ය.

--------------------

UPDATE - 6.33 P.M 

ඉරානය විසින් සියලුම ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය "නැවත දැනුම් දෙන තුරු" තහනම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------

UPDATE - 6.23 P.M 

ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් ටෙහෙරානයෙන් ප්‍රහාරයක් එල්ලකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
----------------------

UPDATE - 6.16 P.M 

අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ටෙහෙරානයේ ගොලෙස්තාන් මාලිගයට හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.

-----------------------

UPDATE - 6.03 P.M 

දකුණු බේරූට් හි හිස්බුල්ලා නායකයින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

-----------------------------

UPDATE - 5.43 P.M 

ඉරානය විසින් දියත් කරනලද මිසයිල 73ක් සහ ඩ්‍රෝන යානා 91ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බව බහරේනයේ බලධාරීන් පවසයි.

UPDATE - 5.35 P.M 

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 68 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබේ.

-----------------------

UPDATE - 5.33 P.M 

ඉරානයෙන් මිසයිල 18‍6ක් සහ ඩ්‍රෝන යානා 812ක් දියත් කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-------------------

UPDATE - 5.18 P.M 

කුවේට් නගරයේ සයිරන් හඬක් ඇසුණු බවට විදෙස් වාර්තා සඳහන් කරයි‍.

------------------------

UPDATE - 5.08 P.M 

ඕමානයේ සලාලා වරාය අසල ඩ්‍රෝන යානයක් කඩා වැටී ඇති බවත්, ඉන් කිසිදු හානියක් සිදු වී නොමැති බවත් එරට බලධාරීන් පවසයි.

--------------------

UPDATE - 5.01 P.M 
ඉරානයට එල්ලවන ප්‍රහාර හේතුවෙන් කලාපයේ න්‍යෂ්ටික අවි තරඟයක් ඇතිවිය හැකි බවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ අනතුරු අඟවා තිබේ.

-------------------------------

UPDATE - 4.51 P.M 

ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ හරස් මාර්ගය ප්‍රථම වරට විවෘත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-----------------------

UPDATE - 4.35 P.M 

ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර එරට පුළුල් නටාන්ස් න්‍යෂ්ටික බලාගාරය ඉලක්කකර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය තහවුරු කළේය.

පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය යුරේනියම් පොහොසත් කිරීමේ බලාගාරයක් පවත්වාගෙන යන නටාන්ස් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පහසුකම් වලට බෝම්බ හෙලීය.

----------------------
 

UPDATE - 4.30 P.M 

ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ "ඔවුන් යුද්ධය නතර කළ යුතුයි. අපි එය ආරම්භ කළේ නැහැ,"  යනුවෙනි.

ප්‍රමාද වීමට පෙර ජාත්‍යන්තර ප්‍රජාව තම වගකීම ඉටු කිරීමට තීරණය කළ යුතු බවද නිවේදනයේ සඳහන් වෙයි.

"ඇමරිකා එක්සත් ජනපදය සහ සියොන්වාදී පාලනය විසින් ඇවිලවූ ගින්න මුළු ලෝකයම ගිල ගනු ඇත" යනුවෙන්ද එහි සඳහන්ය.

යුරෝපයේ සියලුම ප්‍රවේශයන් පරස්පර විරෝධී බවද නීතිය උල්ලංඝනය කිරීම සහ සදාචාරාත්මක මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීම පෘථිවියේ සෑම මිනිසෙකුටම බලපාන ප්‍රතිවිපාක ඇති කරන බවද ඉරාන විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

----------------------------
 

UPDATE - 4.18 P.M 

කටාර් ගුවන් කලාපය වසාදමා ඇති බැවින් රටතුළ පුද්ගලයින් 8,000කට ආසන්න පිරිසක් ගුවන් ගමන් ලබා ගැනීමට අපහසු වී සිටන බව කටාර් රාජ්‍ය පවසයි.

--------------

UPDATE - 4.08 P.M 

ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර පිළිබඳව කටාර් රාජ්‍යයට දැනුම් දී නොමැති බව සඳහන් වෙයි.

කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මජෙඩ් අල්-අන්සාරි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඉරානය විසින් පැමිණෙන මිසයිල ප්‍රහාර පිළිබඳව කටාර් රාජ්‍යයට දැනුම් දී නොමැති බවයි.

-------------------------

UPDATE - 3.56 P.M 

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර යුද ගැටුම් හේතුවෙන් අවම වශයෙන් අවතැන් වූ පුද්ගලයින් 30,000ක් ලෙබනනයේ නවාතැන්වල ආරක්ෂාව පතා ඇති බව UNHCR පවසයි.

--------------------------

UPDATE - 3.54 P.M 

බහරේනයේ මනාමාහි ස්ථාන කිහිපයක පිපිරීම් සිදු වීමත් සමඟ අනතුරු ඇගවීමේ සංඥා නාද නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

---------------

UPDATE - 3.45 P.M 

ඉරාන මිසයිලයක් මධ්‍යම ඊශ්‍රායලයට පහර දී තිබේ.

කැබලි යුධ ශීර්ෂයක් රැගත් මිසයිලයක් මධ්‍යම ඊශ්‍රායල නගරයක් වන පෙටා ටික්වා වෙත පහර දී ඇති බව ඊශ්‍රායයේ මාධය වාර්තා සඳහන් කර තිබේ.

ප්‍රහාරයෙන් සිදු වූ හානිය හෝ තුවාල ලැබූවන් වාර්තා වී නොමැත.
 

-------------------

UPDATE - 3.37 P.M 

ඉරාන ජනාධිපති කාර්යාලයට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

---------------------

UPDATE - 3.21 P.M 

මේ දක්වා අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුව ඇති බලපෑම ඉරානයේ රතු කුරුස සංගමය විසින් යාවත්කාලීන කර තිබේ.

මෑත කාලීන ප්‍රහාරවලින් රට පුරා අවම වශයෙන් නගර 153 ක් පීඩාවට පත්ව ඇත.

මේ වන විට අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් පහර දුන් මුළු ස්ථාන 504 ක් බව සඳහන් වෙයි.

වාර්තාගත ප්‍රහාර සංඛ්‍යාව 1,039 දක්වා ළඟා වී ඇත.

මේ දක්වා ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 787 දෙනෙකු මිය ගොස් ඇත. 

ගලවා ගැනීමේ සේවකයින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකරන අතර, සුන්බුන් ඉවත් කිරීම, තුවාල ලැබූවන් මාරු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව නිවේදනයේ සඳහන් වේ.

--------------------------

UPDATE - 2.56 P.M 

ටෙල් අවිව් ඇතුළු මධ්‍යම ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමේ සයිරන් නලා ක්‍රියාත්මක කර ඇත.

----------------------------------

UPDATE - 2.48 P.M 

ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාර චීනය හෙළා දැක ඇති අතර, න්‍යෂ්ටික ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ කර ඇත.

ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාර ''අඛණ්ඩ සාකච්ඡා අතරතුර... ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම උල්ලංඝනය කරන'' බව ද එහි සඳහන් වේ.

-----------------------------

UPDATE - 2.45 P.M 

අමෙරිකානු -ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ මියගිය සංඛ්‍යාව 787 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

------------------------------

UPDATE - 2.34 P.M 

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මාර්තු අවසානය දක්වා වාණිජ ගුවන් ගමන් සඳහා සිය ගුවන් කලාපය අර්ධ වශයෙන් වසා දමන බව පාකිස්තාන ගුවන් තොටුපළ අධිකාරිය නිවේදනය කර තිබේ.

------------------------------------

UPDATE - 2.16 P.M 

ඉරානයට එරෙහිව අමෙරිකාව ගෙන යන යුද්ධයට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් වෙත සිය  විවේචනය එල්ල කර තිබේ.

ස්ටාර්මර් පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ "ඔහු සහයෝගය ලබා දී නැහැ... මම කිසිම දිනක මෙවැනි දෙයක් දකීවි කියා සිතුවේ නැහැ. එක්සත් රාජධානියෙන් මෙවැනි ප්‍රතිචාරයක් මම කිසිවිටෙකත් බලාපොරොත්තු වුණේ නැහැ," යනුවෙනි.

--------------------------------

UPDATE - 1.56 P.M 

බටහිර ඉරානයේ හමාදාන් නගරයට ආසන්න ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 5දෙනෙකු මියගොස් තවත් 25දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාර ජනාකීර්ණ ප්‍රදේශවලට එල්ල වූ බවත් එමඟින් සිවිල් වැසියන්ට හානි සිදු වූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

----------------------------------

UPDATE - 1.51 P.M 

ලෙබනනයේ තවත් ස්ථාන අත්පත් කර ගැනීමට සිය හමුදාවට උපදෙස් ලබා දුන් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි. 

---------------------------------

UPDATE - 1.45 P.M 

ඉරානයේ කර්මන් පළාතේ හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන සොල්දාදුවන් 13දෙනෙකු මිය ගොස් තිබේ.

-------------------------------

UPDATE - 1.30 P.M 

ටෙහෙරානයේ නැගෙනහිර ප්‍රදේශයෙන් දැවැන්ත පිපිරීමක් වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයෙන් ඝන දුමාරයක් නැඟෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

-------------------------------

UPDATE - 1.16 P.M 

ඉරානයේ පාසල් ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් සමූහ අවමංගල්‍යයක් පවත්වා ඇති බව සඳහන් වෙයි.

දකුණු මිනාබ් නගරයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය සිසුන් ඇතුළු 165 දෙනෙකු වෙනුවෙන් සමූහ අවමංගල්‍ය උත්සවයක් ඉරානය විසින් පවත්වා තිබේ.
---------------------------

UPDATE - 1.06 P.M 

ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ රික්ටර් මාපක 4.3ක භූමිකම්පාවක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාව කිලෝමීටර 10ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදුවී ඇති බව USGS පවසයි.

-----------------

UPDATE - 1.05 P.M

ඕමානයේ ඩුකුම් වරායේ ඉන්ධන ටැංකියක් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව සඳහන් වෙයි.

ජීවිත හානි කිසිවක් සිදු නොවූ අතර ද්‍රව්‍යමය හානිය අවම කර ඇති බව එහි සඳහන් විය.

--------------------------

UPDATE - 12.46 P.M 

ඉරානයට නව උත්තරීතර නායකයා තෝරා ගැනීම සඳහා දිගු කාලයක් ගත නොවන බව ඉරාන නිලධාරියෙක් පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නව උත්තරීතර නායකයෙකු තෝරා පත් කර ගන්නා ඉරානයේ විශේෂඥයින්ගේ සභාවේ සාමාජිකයෙකු පවසන්නේ, ISNA ආයතනයට අනුව, ක්‍රියාවලිය දිගු කාලයක් ගත නොවනු ඇති බවයි.

UPDATE - 12.45 P.M 

කටාර් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවා ඇත.

රටේ ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව කටාර් ගුවන් සේවය පැවසීය.
---------------------

UPDATE - 12.45 P.M 

ඊශ්‍රායල හමුදා ස්ථාන තුනකට ප්‍රහාර එල්ලකළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

ඉරානයේ සහාය ලත් සටන්කාමී කණ්ඩායම වන හිස්බුල්ලා, ලෙබනන් නගර සහ තවත් නගර ගණනක් ඉලක්ක කරගත් සාපරාධී ඊශ්‍රායල ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ස්ථාන තුනකට පහර දුන් බව පවසයි.

--------------------

UPDATE - 12.36 P.M 

ඉරානයට හමුදා සහාය ලබා දෙන බවට පළ වන වාර්තා චීනය ප්‍රතික්ෂේප කරයි.

--------------------

UPDATE - 12.26 P.M

බුෂෙහර්හිදී IRGC භටයින් පස් දෙනෙකු මිය ගිය බව ඉරාන මාධ්‍ය පවසයි.

මධ්‍යම පළාතේ බුෂෙහර් හි ජෑම් සහ ඩිර් යන නගරවලට එල්ල වූ ඇමරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් IRGCහි (ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය)  ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වෙයි. 

---------------

UPDATE - 12.22 P.M

රියාද් හි කැනඩා තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කරයි

වර්තමාන ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අද (03)  රියාද් හි කැනඩා තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කරයි.

මේ අතර, මාර්තු 6 වන සිකුරාදා දක්වා සියලුම පුද්ගල හමුවීම් අවලංගු කර ඇති බව ද සඳහන් වෙයි.

-------------------

UPDATE - 12.00 P.M

කුවේටයේ අමෙරිකානු තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

--------------------

UPDATE - 11.29 A.M

සදාකාලික යුද්ධයකට ප්‍රමාණවත් තරම් අවි අමෙරිකාව සතුව ඇති බව ට්‍රම්ප් පවසයි.

-----------------------

UPDATE - 11.22 A.M

ඊශ්‍රායල ගුවන් හමුදාව පවසා ඇත්තේ, ඊශ්‍රායලය විසින් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි.

----------------------

UPDATE - 11.12 A.M

දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව යුරෝපීය මහ බැංකුව පවසා තිබේ.

ඉරානයට එරෙහි අඛණ්ඩ යුද්ධයක් මධ්‍යයේ මැද පෙරදිග කලාපයෙන් තෙල් හා ගෑස් සැපයුම් අඛණ්ඩව පහත වැටීම උද්ධමනයේ විශාල වැඩිවීමක් සහ යුරෝපීය කලාපයේ නිෂ්පාදනයේ තියුණු පහත වැටීමක් ඇතිකළ හැකි බව යුරෝපීය මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆිලිප් ලේන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

--------------------
 

UPDATE - 11.11 A.M

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඉරාන අගනුවර වන ටෙහෙරානයට මෙන්ම ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ද ප්‍රහාර දියත් කළ බව තහවුරු කර තිබේ.

“IDF දැනට ටෙහෙරාන් සහ බේරූට් හි හමුදා ඉලක්ක වෙත එකවර ඉලක්කගත ප්‍රහාර එල්ල කරමින් සිටී,” එය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාර එල්ල වන්නේ බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මානවල ජනතාවට ඉවත් වන ලෙස ඉල්ලා සිටිමින් IDF “හදිසි අනතුරු ඇඟවීමක්” නිකුත් කිරීමෙන් පැයකට පමණ පසුවය. 

හිස්බුල්ලා සංවිධානයට අයත් අණදෙන මධ්‍යස්ථාන සහ ගබඩා පහසුකම් ඉලක්ක කරන බව ද IDF පවසා ඇති බව සඳහන් ය.

-------------------

UPDATE - 10.56 A.M

ඉරානයේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල ටෙහෙරාන් නගර මධ්‍යයට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තාවේ.

---------------

UPDATE - 10.51 A.M

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

හිස්බුල්ලා සමඟ අනුබද්ධ ගොඩනැගිලිවලින් ජනතාව ඈත්ව සිටිය යුතු බවත් ඔවුන් අසල සිටින ඕනෑම අයෙකු අවදානමට ලක්විය හැකි බවත් එහි සඳහන් වේ.
-----------------

UPDATE - 10.45 A.M

ඊශ්‍රායලය බේරූට් වෙත තවත් ප්‍රහාර දියත් කර තිබේ.

--------------------------

UPDATE - 10.10 A.M

ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස උතුරු ඊශ්‍රායලයේ රාමත් ඩේවිඩ් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

--------------------------

UPDATE - 09.50 A.M

බහරේනයේ ෂෙයික් ඊසා ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට අද (03) උදෑසන "දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්" එල්ල කළ බව ඉරානය පවසයි. 

අමෙරිකා එක්සත් ජනපද ගුවන් කඳවුරේ ප්‍රධාන අණදෙන සහ මූලස්ථාන ගොඩනැගිල්ල විනාශ කර, එහි තිබූ ඉන්ධන ටැංකි ගිනි තැබූ බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය. 

ඒ සඳහා ඩ්‍රෝන යානා 20ක් සහ මිසයිල තුනක් යෙදවූ බව ද සඳහන් වේ.

------------------------------

UPDATE - 09.15 A.M

ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-----------------------------

UPDATE - 08.55 A.M

රියාද් සහ ඒ අසල පිහිටි අල්-කර්ජ් නගරය දෙසට ගමන් කරමින් තිබූ ඩ්‍රෝන යානා 8ක් පමණ විනාශ කර දැමූ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
------------------------------

UPDATE - 08.40 A.M
පාකිස්ථානයේ, කරච්චි නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේවෙතත් එල්ල කළ එම වෙඩි ප්‍රහාරවලින් කිසිවෙකු මිය ගියාද යන්න පිළිබඳව මේ වන තෙක් අනාවරණය වී නොමැති බවද සඳහන්.

------------------------------

UPDATE - 08.32 A.M

වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ අවලංගු කරන බව නිවේදනය කර ඇත.

------------------------

UPDATE - 08.15 A.M

යුදමය වාතාවරණය හමුවේ පසුගිය පැය 24 තුළ ඉරානයේ සිවිල් වැසියන් 85දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම හමුදා නිලධාරීන් 11දෙනෙකු පමණ මියගොස් ඇති බව ද සඳහන්.

------------------------------------

UPDATE - 07.55 A.M

"ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තවත් මාස කිහිපයකින් ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා විය හැකි (ප්‍රතිශක්තිකරණ) මට්ටමකට පත්වනු ඇතැයි'' නෙතන්යාහු පවසයි.

-----------------------------------

UPDATE - 07.50 A.M

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට මේ වන විට බාධා එල්ල වී ඇත. 

මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, එය අමෙරිකානු පාරිභෝගිකයින්ට සෘජුවම බලපා තිබේ.

විශ්ලේෂකයින් අනාවැකි පල කරන්නේ පවතින අර්බුදය හමුවේ මෙම සතිය තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3.25 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවය.

----------------------------------

UPDATE - 07.26 A.M

රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වන බව ට්‍රම්ප් සඳහන් කර ඇති බව වාර්තා වේ.

------------------------------

UPDATE - 07.28 A.M

මීට සුළු වේලාවකට පෙර දකුණු බිරූට් ප්‍රදේශයයේ ඩහියා හි, හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධිත දේශීය නාලිකාවක් වන අල් මනාර් රූපවාහිනිය පිහිටා ඇති ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ලෙබනනයට සහ සිරියානු දේශසීමාවට එල්ල වී ඇති ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස්, 154 දෙනෙකු තුවාල ලබා ඇති අතර දහස් ගණනක් අවතැන් වී ඇති බවද සඳහන්.

------------------------------

UPDATE - 07.15 A.M

රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මඟින් ප්‍රහාර එල්ල කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

------------------------------

UPDATE - 07.00 A.M

ඉරාන පාසලකට බෝම්බ හෙලීම මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

"පාසල් සිසුන් ඝාතනය කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පාසල්වලට ලබා දී ඇති ආරක්ෂාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි," යනුවෙන් ඔවුන්ගේ නිවේදනයේ සඳහන්. 

අදාළ බෝම්බ ප්‍රහාරයෙන් 160කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාසල් සිසුන් වේ.

-----------------------------------

UPDATE - 06.45 A.M

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහර දෙන බවට ද අනතුරු අඟවා තිබේ.

-----------------------------------

UPDATE - 06.25 A.M

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.