මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

March 10, 2026   01:08 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින එකළොහක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.

Update | 8.31 PM |  ඉරාන ජනාධිපතිගෙන් සැර ප්‍රකාශයක්

ඉරානය විනාශ කළ හැකි යැයි සිතන අය ඉතිහාසය ගැන කිසිවක් නොදන්නා බව ඉරාන ජනාධිපති පවසයි.

ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ ඉරානය විනාශ කළ හැකි බව විශ්වාස කරන විරුද්ධ පාර්ශ්වයන් “මෝහයක” ජීවත්වන බවය.

ඔහු X සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ, “ඉතිහාසය පුරාවට කිසිදු බලයක් මෙම පුරාණ නාමය මකා දැමීමට සාර්ථක වී නැත” යන්නයි.

“ඉරානය විනාශ කළ හැකි යැයි සිතන කෙනෙකු ඉතිහාසය ගැන කිසිවක් නොදනී. ආක්‍රමණකරුවන් පැමිණ ගියත් ඉරානය සදා පැවති අතර තවදුරටත් පැවතිනු ඇත,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

---------------------

Update | 8.04 PM |

මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයට ලක්වූ ඉරාන අයිරිස් ඩෙනා නෞකාවේ මියගිය නාවිකයින්ගේ මළ සිරුරු ඉක්මනින් තම රටට ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉරානය පවසයි.

ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කර ඇති නිවේදනයකට අනුව හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය සඳහන් කර ඇත්තේ අදාළ මළ සිරුරු 104න් 84ක් හඳුනාගෙන ඇති බවත් එම මළ සිරුරු ඉක්මනින් ඉරානයට ආපසු ලබා ගන්නා බවය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සාහයෙන් සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් මෙම සිරුරු නැවත ගෙන්වා ගැනීම සිදුවනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

Update | 7.21 PM |

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් නැවතත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව ස ඳහන් වෙයි.

---------------------

Update | 7.00 PM |

නෙදර්ලන්තය සිය තානාපති කාර්යාල නිලධාරීන් ඉරානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි.

ආරක්ෂක හේතූන් මත ඉරානයේ සිටින නෙදර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීන් අසර්බයිජානයේ නුවර වෙත මාරු කිරීමට තීරණය කර ඇත.

----------------------

Update | 5.43 PM |

අද දිනය ඉරානයට දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශකර තිබේ.
---------------------------

Update | 5.06 PM |

ඉරානය විසින් එකවර රටවල් තුනක් (ඊශ්‍රායලය, කටාර් සහ UAE) ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව එම රටවල් වාර්තා කරයි.

-----------------------

Update | 4.43 PM |

ඉරාන රජය විසින් නිකුත් කරන ලද නිල වාර්තාවලට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයන් 1,332 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජය පවසයි.

---------------------

Update | 4.06 PM |

ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් වෙත යළිත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

මෙලෙස ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.
----------------------

Update | 3.56 PM |

ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය නැවැත්වීමට උත්සාහ කළහොත් දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඊට පිළිතුරු ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසා ඇත්තේ  අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන තුරු මෙම මුහුදු මාර්ගයෙන් තෙල් ලීටරයක්වත් ගෙන යාමට ඉඩ නොදෙන බවයි.

--------------------

Update | 3.44 PM |ඉරානයේ ඉස්ෆහන් (Isfahan) නගරයේ පිහිටි ඓතිහාසික මාලිගාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යුනෙස්කෝවේ ලෝක උරුමයක් ලෙස සැලකෙන 17 වන සියවසට අයත් චෙහෙල් සොටවුන් (Chehel Sotoun) මාලිගාව සහ එහි උද්‍යානවලට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් මාලිගාව අභ්‍යන්තරයේ තිබූ ලී කැටයම්වලට හානි සිදුව ඇති අතර ජනේල වීදුරු ද බිඳී ගොස් ඇති බව සඳහන් වෙයි.
--------------------------

Update | 3.06 PM |බ්‍රිතාන්‍යය මධ්‍යධරණී මුහුදට යුද නැව් සූදානම් කරයි

මධ්‍යධරණී මුහුදේ පවතින තත්ත්වයන්ට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ නැව් දෙකක් සූදානම් කර තිබේ.

'RFA Lyme Bay'මෙය වෛද්‍ය පහසුකම් සහිත ගොඩබෑමේ නෞකාවක් වන අතර, ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී උපකාර කිරීම සඳහා මෙය අධි සූදානමකින් තබා ඇති අතර, දැනට එය ජිබ්‍රෝල්ටාර් (Gibraltar) හි නවතා ඇති බව සඳහන් වෙයි.

'HMS Dragon' මෙය බ්‍රිතාන්‍යයේ තවත් ප්‍රබල යුද නෞකාවක් වන අතර, මෙම නෞකාව ඉදිරි දින කිහිපය තුළ පෝර්ට්ස්මත් (Portsmouth) වරායෙන් පිටත්ව මධ්‍යධරණී මුහුද බලා යාමට නියමිතය.

-----------------------

Update | 2.54 PM |ඉරානයේ අන්තර්ජාල සේවාවන් සම්බන්ධයෙන් 

2026 වසරේ ගෙවී ගිය කාලයෙන් තුනෙන් එකක්ම ඉරානය අන්තර්ජාලය භාවිතයෙන් බැහැරව කාලය ගත කර ඇති බව අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ආයතනයක් පවසා තිබේ.

පවතින යුදමය තත්ත්වය සහ අභ්‍යන්තර නොසන්සුන්තා පාලනය කිරීම සඳහා එරට රජය විසින් මෙසේ අන්තර්ජාල සබඳතා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙලෙස නිතර අන්තර්ජාලය විසන්ධි කිරීම නිසා ඉරාන වැසියන්ට තොරතුරු ලබාගැනීමට සහ ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට විශාල බාධාවක් වී තිබේ.

-----------------------

Update | 2.38 PM |තුර්කියේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති එර්ඩොගන් ඉරානයට අනතුරු ඇඟවයි.

තුර්කි ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, එය සාධාරණීකරණය කළ නොහැකි බවත් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් ඉරානයට පවසා තිබේ.

-----------------------

Update | 2.22 PM |අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මෙම යුද්ධය අවසන් කිරීමට නිසි සැලසුමක් නොමැති බවට ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අමෙරිකානු පුවත් සේවයක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ මේ බව පවසා ඇත.

මොජ්තබා ඛමේනිගේ පත්වීම සිය පියාගේ පාලනයේම ඉදිරි පියවරක් බවත්, ඉන් රටේ ස්ථාවරත්වය ආරක්ෂා වන බවත් ඔහු පවසා තිබේ.

------------------------

Update | 2.11 PM |ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ වෙරළබඩ නගර කිහිපයක ජනතාවට ඉවත් වන ලෙස දන්වා තිබේ.

ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ ටයර් (Tyre) සහ සිඩොන් (Sidon) යන වෙරළබඩ නගරවල වෙසෙන ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අලුතින්ම නියෝග කර තිබේ.

එම නගරවල පිහිටා ඇති හිස්බුල්ලා සංවිධානයට අයත් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉදිරි පැය කිහිපය තුළ ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ප්‍රකාශ කර ඇත.

---------------------
Update | 1.40 PM |ඉරාන විප්ලවීය හමුදාවෙන් රතු එළියක්

තම රටට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබානොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි.

------------------

Update | 1.20 PM |අමෙරිකානු - ඊශ්‍රායල යුද්ධය අසාර්ථක බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි (Araghchi) පවසයි.

ඔවුන්ගේ මුල් සැලසුම් මෙන්ම පසුව ක්‍රියාත්මක කළ අනෙකුත් සියලු උපාය මාර්ග ද අසාර්ථක වී ඇති බව ඔහු සඳහන් කරයි.

අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මෙම යුද්ධය අවසන් කිරීමට පැහැදිලි අරමුණක් නොමැති නිසා, ඔවුන් දැන් ජනාවාස ප්‍රදේශවලට ඉලක්කයක් නොමැතිව ප්‍රහාර එල්ල කරන බවට ඔහු චෝදනා කරයි.

----------------------

Update | 1.05 PM |ඊජිප්තුවේ ඉන්ධන මිල 30% කින් ඉහළට

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති සැපයුමට සහ නැව් ගමනාගමනයට එල්ල වී ඇති බලපෑම් හමුවේ, ඊජිප්තු රජය එරට ඉන්ධන මිල 30% දක්වා ඉහළ දමා ඇත.

--------------------------

Update | 12.45 PM | සෞදි අරාබියට එල්ල වූ තවත් ඩ්‍රෝන යානයක් විනාශ කෙරේ

සෞදි අරාබියේ අල්-ඛර්ජ් (al-Kharj) ප්‍රදේශයට නැගෙනහිරින් පියාසර කරමින් තිබූ තවත් ඩ්‍රෝන යානයක් සිය හමුදාව විසින් විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

------------------------

Update | 12.37 PM | ඉරාකයේ අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාර

ඉරාන විප්ලවීය බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා මූලස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි.

-------------------------

Update | 12.31 PM |ලෙබනනයේ සිටින අමෙරිකානු වැසියන්ට බේරූට් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් කර තිබේ.

ලෙබනනයේ ආරක්ෂිත තත්ත්වය සලකා බලා, හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙස තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට දන්වා ඇති බව සඳහන් වෙයි.
-------------------------------

Update | 12.22 PM |ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ජනතාවට නැවතත් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා තිබේ.

ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට වහාම තම නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නැවතත් නියෝග කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------------

Update | 12.05 PM |අමෙරිකානු සමාගමක් මැදපෙරදිග චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කිරීම තාවකාලිකව ප්‍රමාද කරයි

අමෙරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ වාණිජ චන්ද්‍රිකා සමාගමක් වන 'Planet Labs' මැදපෙරදිග කලාපයට අදාළ චන්ද්‍රිකා ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ කාලය සති දෙකක් දක්වා ප්‍රමාද කිරීමට තීරණය කර ඇත.

මීට පෙර දින 4ක්ව පැවති මෙම ප්‍රමාද කාලය දැන් දින 14ක්  දක්වා දීර්ඝ කර තිබේ.

මෙම ඡායාරූප සතුරු පාර්ශවයන් අතට පත්වුවහොත්, ඒවා අමෙරිකානු හමුදා, නේටෝ  හමුදා හෝ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට යොදාගත හැකි බවට සමාගම බිය පළ කරීම හේතුවෙන් මෙලෙස අත්හිටුවා තිබේ.
-----------------------

Update | 11.35 AM |මැදපෙරදිග යුද්ධය නිසා දකුණු කොරියානු ආර්ථිකයට දැඩි බලපෑම්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය දකුණු කොරියානු ආර්ථිකයට දැඩි අභියෝග එල්ල කරමින් තිබේ.

ඊයේ දිනයේ දකුණු කොරියානු කොටස් වෙළඳපොළ 8% කට වඩා පහත වැටුණු අතර, ඒ හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව නතර කිරීමට පවා සිදු වී තිබේ.

------------------------

Update | 10.45 AM |එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාවට ඔස්ට්‍රේලියාවෙන් සහාය

ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවලට සහාය වීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත. 

මේ යටතේ විශේෂ නිරීක්ෂණ ගුවන් යානයක් සහ මිසයිල ලබා දීමට ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබේ.
---------------------

Update | 10.45 AM | ඉරාකයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සෞදි අරාබිය හෙළා දකියි

ඉරාකයේ කුර්දිස්ථාන ස්වයං පාලන කලාපයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දැක තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිලි ඉලක්කකර ගනිමින් දිගින් දිගටම එල්ල වන මෙවැනි ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව සෞදි රජය පවසයි.
 

-------------------------

Update | 10.02 AM | ඉරාන ක්‍රීඩිකාවන් රැගත් බස් රථයට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් (Gold Coast) හි හෝටලයක නවාතැන්ගෙන සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම එම ස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේදී විරෝධතාවක් එල්ල වී තිබේ.

ප්‍රදේශයේ වෙසෙන ඉරාන ක්‍රියාකාරීන් පිරිසක් හෝටලය ඉදිරිපිට මාර්ගයේ වැතිරෙමින් ක්‍රීඩිකාවන් රැගත් බස් රථයට ඉදිරියට යාමට නොහැකි වන සේ බාධා පමුණුවා ඇත.
 

-------------------------

Update | 09.47 AM | අමෙරිකානු අවි මැදපෙරදිගට යැවීම ගැන දකුණු කොරියානු ජනපතිගේ අදහස

දකුණු කොරියාවේ ස්ථාපිත කර ඇති අමෙරිකානු අවි පද්ධති මැදපෙරදිග කලාපයට මාරු කිරීම මගින් උතුරු කොරියාවට එරෙහිව පවතින ආරක්ෂක ශක්තියට බාධාවක් නොවන බව එරට ජනාධිපති ලී ජේ මියුන්ග් පවසා ඇත.

ගුවන් ආරක්ෂක අවි දකුණු කොරියාවෙන් ඉවතට රැගෙන යාමට සිය රට විරුද්ධ වුවද, සෑම දෙයක්ම තම රටට අවශ්‍ය පරිදිම සිදුකර ගැනීමට නොහැකි වීම පැහැදිලි යථාර්ථයක් බව ද ඔහු පිළිගෙන තිබේ.
-------------------------

Update | 09.45 AM |බහරේනයේ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වේ

බහරේන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට ජනතාවට විශේෂ උපදේශනයක් නිකුත් කර තිබේ.

ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමත් සමඟ වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙසත් කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත් ජනතාවට දන්වා ඇත.
 

--------------------------

Update | 09.35 AM |  යුද ගැටුම් හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන් වෙයි

පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

----------------------------------------
 

Update | 09.27 AM | යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි - ඉරානයෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර

යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවය.

ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවය.

------------------------------------

Update | 07.07 AM | ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පමණ පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.

-----------------------------

Update | 06.47 AM | පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

පැයක පමණ කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී වර්තමානයේ ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් ය. 

-----------------------------

Update | 02.18 AM | යුද්ධය කඩිනමින් අවසන් කරන බව ට්‍රම්ප් කියයි

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවය.

-----------------------------

Update | 01.05 AM | ලෙබනන් නායකයා සටන් විරාමයක් ඉල්ලයි 

ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරනු ලබන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

හිස්බුල්ලා සංවිධානය යටතේ ඇති ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව එල්ල කරනු ලබයි.