මහින්දානන්දගේ සහ නලින්ගේ අභියාචනා පෙත්සම් විභාගය හෙටට කල්යයි
March 10, 2026 05:16 pm
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද (10) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කෙරේ.
මෙම අභියාචනා පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයේ සිය සේවාදායකයාට එල්ල කර තිබූ "අනුබල දීම" යන චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.
එම චෝදනාවෙන් සිය සේවාදායකයා නිදොස් කොට නිදහස් කර ඇති නිසා ඔහු "කුමන්ත්‍රණය" නමැති චෝදනාවට වැරදිකරු කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය වැරදි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මෙම ප්‍රශ්නගත ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදුවී ඇති බව අල්ලස් කොමිසම සිය අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබුණද එලෙස රජයට පාඩුවක් සිදුවූ බව ඔප්පු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විත්තිකරුවන් මහජන මුදල් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවූ බවට නිගමනයක සිට මහාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන බවත් සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශයට අයවැයෙන් වෙන්කරනු ලබන්නේ මහජනතාවගෙන් බදු වශයෙන් අයකර ගන්නා ලද මුදල් බවත් එවැනි මුදල් මේ ආකාරයේ කටයුතුවල යෙදවීම හේතුවෙන් අවසානයේ දී රට බංකොලොත් වූ බව තීන්දුවේ සදහන් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම කැරම් බෝඩ් ආනයනය කිරීම හරහා මහජන මුදල් හෝ රජයට පාඩුවක් සිදුවී නොමැති අතර ඉන් රට බංකොලොත් වීමක් සිදුවන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
තව දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ස.තො.ස ආයතනය මගින් ආනයනය කරන ලද ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති බවත් ඒ අනුව සිය සේවාදායකයාට එරෙහිව එම ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීමේ චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවත්ය.
එම ක්‍රීඩා භාණ්ඩ ස.තො.ස ආයතනය වෙතින් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු යැයි කියා ගත් නිශාන්ත ගුණසේකර නමැති පුද්ගලයෙකු විසින් භාරගෙන තිබුණද එම භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට රැගෙන ගොස් නොමැති බවත් ඒවා කැලණිය, මාබිම ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
අදාළ භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති අවස්ථාවක එම ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කළේය.
අදාළ ක්‍රීඩා භාණ්ඩ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ආනයනය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද සතොස ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් සාක්ෂියට කැදවා නොමැති බැවින් එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
කුමන්ත්‍රණය නමැති චෝදනාව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් වන චෝදනාවක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අල්ලස් පනත යටතේ "කුමන්ත්‍රණ" චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.
ඒ අනුව කුමන්ත්‍රණ චෝදනා ඇතුළත් කරමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රය නීතිවිරෝධී මෙන්ම බල ශූන්‍ය බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාට රජයට පාඩු සිදුකිරීමේ චෝදනා මෙම නඩුවෙන් එල්ල කර තිබූ බව සිහිපත් කෙරුණි.
එහෙත් සතොස ආයතනය ලේඛනගත රජයේ ආයතනයක් ලෙස සැලකිය නොහැකි බවත් එය පුද්ගලික ආයතනයක් ලෙස සංස්ථාගත කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ
අනුව සතොස ආයතනයට කල පාඩුවක් රජයට සිදු කළ පාඩුවක් ලෙස සැලකිය නොහැකි බවත් තර්ක කළේය.
ඒ අනුව රජයට පාඩුවක් සිදු කළේ යැයි විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බවත් ඔහු තර්ක කළේය.
මෙම චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය වැදගත් සාක්ෂිකරුවන් හත් දෙනෙකු පැමිණිල්ල විසින් සාක්ෂියට කැදවා නොමැති බවත් ඔවුන්ගේ සාක්ෂි කැඳවීමකින් තොරව මෙම චෝදනා ඔප්පු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා අදාළ භාණ්ඩ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බාරදුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නඩු විභාග පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බවත් කියා සිටියේය.
ඒ අනුව තම සේවාදායකයා අදාළ චෝදනාවන්ට වරදකරු කිරීම නීතියට පටහැනි බවත් ඒ අනුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර නඩුයි විභාගය හෙට දින දක්වා කල් තැබීය.
ඒ අනුව හෙට දින අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීමටද නියමිතය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව ගොනු කර තිබූණි.
එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 30 ක සිර දඬුවම් නියම කර තිබුණි.
එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
