අද ඉරානයට දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනයයි -  පීට් හෙග්සෙත්

අද ඉරානයට දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනයයි -  පීට් හෙග්සෙත්

March 10, 2026   06:05 pm

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන හමුදා මෙහෙයුමේ "ප්‍රබලම ප්‍රහාරක දිනය" අද (10) වනු ඇතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

පෙන්ටගනයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉරාන පාලන තන්ත්‍රය "ම්ලේච්ඡ මිනීමරුවන්" ලෙස හඳුන්වමින් ඔහු චෝදනා කළේ, ඉරානය ලෝකය ප්‍රාණ ඇපයට ගැනීම සඳහා න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන බවය.

පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රමාණය පෙරට වඩා බෙහෙවින් අඩු වී ඇති බවත්, ඉරාන නායකයන් මේ වන විට අසරණ වී කලබලයට පත්ව ඇති බවත් පීට් හෙග්සෙත් පැවසීය.

 "වසර 47ක් තිස්සේ ඔවුන් අපේ අය ඝාතනය කළා. දැන් ඔවුන් උත්සාහ කරන්නේ න්‍යෂ්ටික අවි නිපදවා ලෝකයටම තර්ජනය කිරීමට..," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් 'General Dan Caine'සඳහන් කළේ, අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට එල්ල කරන මිසයිල ප්‍රහාර 90% කින් පමණ අඩු වී ඇති බවය.

ඉරානය තුළ ඉලක්ක 5,000 කට ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන්ගේ නාවික හමුදාවේ ශක්තිය ක්‍රමයෙන් හීන කරමින් පවතින ද බව ඔහු පවසයි.