යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 11, 2026   01:07 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින 12ක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.

Update | 6.10 PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව හෝමූස් දූපතේ නවතා තිබූ ගිලන් රථ යාත්‍රාවකට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඉරානය චෝදනා කරයි.

----------------------------

Update | 5.47 PM

දකුණු ලෙබනනයේ හබූෂ් (Haboush) සහ අරාබිසලීම් (Arabsalim) යන නගර අතර ප්‍රදේශයට ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් මගින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.

-----------------------

Update | 5.42 PM

ජෝර්දානය විසින් එවන ලද මානුෂීය ආධාර රැගත් රථ පෙළක් සිරියාව හරහා ලෙබනනයට පැමිණ තිබේ.

-------------------------

Update | 5.38 PM

කටාර් රාජ්‍යය විසින් අද (11) දිනට තෙවන වරටත් එරට ජනතාවට ආරක්ෂක පණිවිඩයක් නිකුත් කර තිබේ.

සියලුම වැසියන්ට තම නිවෙස් හෝ ගොඩනැගිලිවලින් පිටතට නොපැමිණ ලෙස උපදෙස් දී ඇති බවද සඳහන් වෙයි.
----------------------

Update | 5.32 PM

අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානා සහ උපකරණ සඳහා තම රටේ හමුදා කඳවුරු භාවිතා කිරීමට ඉඩ ලබා දෙන බව රුමේනියානු ජනාධිපති නිකුසෝර් ඩෑන් (Nicusor Dan)පවසා තිබේ.

------------------------

Update | 5.20 PM

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ  UAEජනාධිපති මොහොමඩ් බින් අතර මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද ගැටුම් පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ. 

මේ අතර, රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් දෙකම මැදපෙරදිග යුද්ධය තවත් දරුණු වීම වැළැක්වීමට සහ සාමකාමී විසඳුමකට යාමට ඇති අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කර ඇත.

--------------------------

Update | 5.17 PM

ඉරාන විප්ලවීය හමුදාව විසින් කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බවට පවසා තිබේ. 

---------------------------

Update | 5.10 PM

තමන් ඊශ්‍රායලයේ ආරක්ෂක සහ ඔත්තු බැලීමේ පද්ධතිවලට සෘජුවම හානි කළ බව ඉරාන හමුදාව පවසා ඇති බව සඳහන් වෙයි.

-----------------------

Update | 5.08 PM

ඉරානයේ වයඹදිග තබ්‍රිස් නගරයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් හතර දෙනෙකුට තුවාල සිදුවී ඇති බව සඳහන් වෙයි.

-------------------------

Update | 5.00 PM

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් එකඟ වී ඇති පරිදි, තමන් සතු හදිසි තෙල් සංචිතවලින් කොටසක් වෙළඳපොළට නිකුත් කිරීමට ඔස්ට්‍රියාව තීරණය කර ඇත.

ඔස්ට්‍රියානු ආර්ථික අමාත්‍ය වුල්ෆ්ගැන්ග් හැට්මන්ස්ඩෝෆර් (Wolfgang Hattmannsdorfer) පවසන්නේ, අනෙකුත් සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර මෙම තීරණයට සහය දීමට තමන් සූදානම් බවයි.
------------------------

Update | 4.23 PM

ඊශ්‍රායල හමුදා විසින් දකුණු ලෙබනනයේ ඉලක්ක කිහිපයකට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි.
----------------------

Update | 4.22 PM

මැදපෙරදිග පවතින යුදමය සහ අස්ථාවර වාතාවරණය හේතුවෙන් මාර්තු 28 වනදා දක්වා ඩුබායි වෙත යන සියලුම ගුවන් ගමන් අවලංගු කිරීමට නෙදර්ලන්තයේ KLM ගුවන් සේවය තීරණය කර ඇත.
---------------------------

Update | 4.05 PM

ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සිවිල් වැසියන් භාවිතා කරන ගොඩනැගිලි 20,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ඉරාන රතු කුරුස සංගමය සඳහන් කර තිබේ.

------------------------

Update | 4.00 PM

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවලින් බෝම්බ පිපිරෙන ශබ්ද වාර්තා වන බව එරට මාධ්‍ය පවසා තිබේ.
-------------------------

Update | 3.50 PM

ලෙබනනය සමඟ දේශසීමා බෙදාගන්නා උතුරු කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා අමතර හමුදා බලඇණි යෙදවීමට ඊශ්‍රායල හමුදා ප්‍රධානියා නියෝග කර ඇත.

මෙතෙක් දකුණු කලාපයේ එනම් ගාසා තීරය දෙස සේවය කළ ඊශ්‍රායලයේ ප්‍රබලතම බලකායක් වන "ගෝලානි බලකායේ" සටන් කණ්ඩායම් මෙලෙස උතුරු දේශසීමාව වෙත මාරු කර තිබේ.
------------------------

Update | 3.22 PM

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් ඔවුන් සතු හදිසි තෙල් සංචිත විශාල වශයෙන් වෙළඳපොළට මුදාහැරීමට යෝජනා කර තිබේ.
------------------------

Update | 2.22 PM

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ අවතැන් වූ පිරිස පුද්ගලයන් ලක්ෂ 8කට ආසන්න බව ලෙබනන සමාජ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.

------------------------

Update | 2.17 PM

බහරේනය පුරා හදිසි අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද නිකුත් වීමෙන් පසුව ඉතා ප්‍රබල පිපිරුම් ශබ්ද හතරක් ඇසුණු බවට වාර්තා විය.

----------------------------

Update | 2.16 PM

දකුණු ලෙබනනයේ ටයර් (Tyre) දිස්ත්‍රික්කයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

------------------------

Update | 2.06 PM

නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් (Baalbek) ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මීට පෙර වාර්තා වූවාට වඩා අඩු බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගිය බව මුලින් වාර්තා වුවද, දැන් තහවුරු වී ඇත්තේ මියගිය සංඛ්‍යාව 7ක් බවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

------------------------

Update | 1.55 PM
ඉරාන බැංකුවකට එල්ල වූ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස, කලාපය පුරා විසිරී ඇති අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකු තම ඉලක්ක බවට පත් විය හැකි බව ඉරානය ප්‍රකාශ කර ඇත.

--------------------

Update | 1.50 PM

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ඩ්‍රෝන යානා දෙකක් කඩාවැටී ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු තුවාවල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් පවසයි.

-------------------------

Update | 1.43 PM

නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් (Baalbek) දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.

-------------------------

Update | 1.27 PM

ලෙබනනය තුළ පවතින යුදමය වාතාවරණය සහ අර්බුදය දරුණු වීමත් සමඟ, ප්‍රංශය එරටට එවන ආධාර ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

---------------------------

Update | 1.20 PM 

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ඩුබායි නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 93ක් පමණ දුර මුහුදේදී මෙම නෞකාවට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇත.

-------------------------

Update | 1.15 PM 

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

------------------------

Update | 1.12 PM 

ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව චීනය ප්‍රකාශ කර ඇත.

---------------------------

Update | 12.50 PM 

කලාපයේ අරාබි රටවල් කිහිපයකට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් බහරේනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද ඡන්දය විමසීමට නියමිත බව සඳහන් වෙයි.

ඉරානය විසින් බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කළ යුතු බව මෙම යෝජනාවෙන් ඉල්ලා සිටී.

--------------------------

Update | 12.48 PM 

ඊශ්‍රායල ප්‍රහාරක යානා විසින් නැගෙනහිර ලෙබනනයේ පිහිටි ප්‍රධාන ගමනාගමන මාර්ගයක් අසල ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වෙයි.

-------------------------

Update | 12.25 PM 

දකුණු ලෙබනනයේ සෆ් අල්-හවා (Saf al-Hawa) ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී රථයකට ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් මගින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

-------------------------

Update | 12.15 PM 

ඉරානයේ අලිගුඩාර්ස් (Aligudarz) නගරයට අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.
----------------------------

Update | 12.12 PM 

බටහිර ඉරානයේ පිහිටි ඩ්‍රෝන යානා දියත් කරන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඉරාන සෙබළුන් කිහිප දෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

---------------------------

Update | 11.45 AM 

අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය (IEA) විසින් ලෝකයේ පවතින තෙල් මිල අධික ලෙස ඉහළ යාම වැළැක්වීම සඳහා රටවල් සතු තෙල් සංචිත වෙළඳපොළට මුදා හැරීමට යෝජනා කර ඇත.
--------------------------

Update | 11.36 AM 

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ජනතාව පදිංචි ප්‍රදේශ ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරවලට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන බව ඉරානය පවසා තිබේ.

---------------------------

Update | 11.30 AM 

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බඩු ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇත.

ප්‍රහාරය හේතුවෙන් නෞකාව තුළ දරුණු ගින්නක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කරගත නොහැකි බැවින්, නෞකාවේ සිටි සියලුම සේවකයින් ඉන් ඉවත් වෙමින් පවතී.

----------------------------

Update | 10.50 AM 

ලෙබනනයේ ස්ලායා (Zlaya) නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
--------------------------

Update | 10.44 AM 

කටාර් රජය විසින් එරට වෙසෙන ජනතාව වෙත ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් පවතින බවට නිවේදනයක් නිකුත් කර ඇත.

සියලුම පදිංචිකරුවන්ට අනවශ්‍ය ලෙස පිටතට නොපැමිණ තමන් සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස දන්වා ඇත.

පවතින තත්ත්වය පිළිබඳව රජය විසින් ලබාදෙන ඉදිරි උපදෙස් පිළිබඳව විමසිලිමත් වන ලෙසද දැනුම් දී තිබේ.

--------------------------

Update | 10.20 AM 

ඔස්ට්‍රේලියාවේ රැකවරණය පැතූ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනාගෙන් එක් ක්‍රීඩිකාවක නැවත සිය රට බලා යාමට තීරණය කර තිබේ.

ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වූ ඉරාන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසක් ඉරානයේ ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු විය.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ට මානුෂීය රැකවරණය ලබා දීමට පියවර ගත්තේය.

ඔස්ට්‍රේලියානු රජය පවසන පරිදි ඕනෑම අයෙකුට තම තීරණය වෙනස් කිරීමට අයිතියක් ඇති බැවින් ඇයගේ තීරණයට ඔස්ට්‍රේලියානු රජය ගරු කරන බව සඳහන් වෙයි.

-----------------------

Update | 9.38 AM 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට කිලෝමීටර් 46ක් පමණ දුරින් මුහුදේ ගමන් කරමින් තිබූ බඩු ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇත.

--------------------------

Update | 9.08 AM

උතුරු කොරියානු රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්ටාබා ඛමේනිට තමන් සහාය දක්වන බවයි.
----------------------

Update | 8.00 AM 

මැදපෙරදිග එක්සත් ජනපද හමුදා මූලස්ථානයට මිසයිල හතරක් එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පවසයි.

----------------------
Update | 6.50 AM 

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉරාන නැව් කිහිපයක්, විනාශ කළ බව අමෙරිකා හමුදාව පවසයි.

ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් X සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවත් වාර්තා වේ.
----------------------

Update | 6.10 AM 

මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ.

ඔහු X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘෘර ක්‍රියාවක්” ලෙස ය.

----------------------

Update | 5.10 AM 
සෞදි අරාබියේ නැගෙනහිරින් පිහිටි හමුදා කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර දෙසට ගමන් කළ බැලස්ටික් මිසයිල හයක් බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

ඊසානදිග හෆාර් අල්-බටින් නගරයේ දෙකක් ඇතුළුව ඩ්‍රෝන යානා කිහිපයක් බිම හෙළූ බව අමාත්‍යාංශය පවසයි.

----------------------

Update | 4.59 AM  මැදපෙරදිග සිටි අමෙරිකානුවන් 43,000කට වැඩි පිරිසක් යළි ඇමරිකාවට

ඉරානය සමඟ ඇතිවූ යුධමය තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා මැදපෙරදිග කලාපයෙන් අමෙරිකානු පුරවැසියන් 43,000කට වැඩි පිරිසක් අමෙරිකාව වෙත ආපසු පැමිණ ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Tommy Pigott සඳහන් කළේ, එම පිරිසෙන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශේෂයෙන් පිහිටුවා ඇති කාර්ය බළකායක (task force) මඟින් සහාය ලබාගෙන කලාපයෙන් පිටව ගොස් ඇති බවය.

----------------------

Update | 4.17 AM ඊශ්‍රායලය බේරූට් වෙත ප්‍රහාර දියත් කරයි

ලෙබනනයේ අගනුවර වන බේරූට් නගරයට ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.

එම ප්‍රහාර, ඉරානය විසින් සහාය ලබන හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.