යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 12, 2026 06:18 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (12) දින 13ක් ගතව තිබේ.
=======================
....................
Update | 11.55 PM
අමෙරිකාවේද සත්කාරකත්වය යටතේ ඉදිරියේ දී ආරම්භවීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන පාපන්දු කණ්ඩායම ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් අද (12) සිදුකර තිබේ.
ඔහු සඳහන්කර ඇත්තේ, මෙවර ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම සිය රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරග කිරීම සුදුසු යැයි තමා විශ්වාස නොකරන බවය.
....................
Update | 11.30 PM
රියාද් හි ගිනිකොන දෙසින් පිහිටි අල්-කර්ජ් ආණ්ඩුකාර කාර්යාලය සඳහා සෞදි අරාබියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
....................
Update | 11.00 PM
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ටෙහෙරානයේ ගොඩනැගිලි කිහිපයක් සුන්බුන් බවට පත් වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ජනතාව තම නිවාස පරීක්ෂා කර ඉතිරිව ඇති දේ එකතු කරනු දැකිය හැකිය.
....................
Update | 10.00 PM
අමෙරිකානු USS Gerald R. Ford (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අමෙරිකානු මධ්‍යම හමුදා අධිකාරිය (U.S. Central Command) සඳහන් කරන්නේ එම ගින්න පාලනය කර ඇති බවය.
එම ගින්න සටන් ක්‍රියාදාමය හේතුවෙන් නොවන බව සඳහන්ය.
ගින්නෙන් නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගින්නෙන් නෞකාවේ සිටි නාවිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.
....................
Update | 09.50 PM
ලෝක තෙල් මිල ඉහළ යන විට අමෙරිකාවට වැඩි ආදායමක් ලැබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඔහු එම අදහස් පළ කර ඇත්තේ සිය Truth Social ගිණුම හරහාය.
“අමෙරිකාව ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදක රට වන බැවින්, තෙල් මිල ඉහළ යන විට අපට විශාල මුදලක් උපයා ගත හැක,” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.
....................
Update | 09.19 PM
එක්සත් රාජධානිය හමුදා භටයින් රැඳී සිටින ඉරාක් හි හමුදා කඳවුරක් වෙත ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය හමුදා භටයින්ට කිසිදු හානියක් සිදුවී නොමැති බව සඳහන් වේ.
කෙසේවෙතත්, එම ප්‍රහාරය හේතුවෙන් අමෙරිකානු හමුදා භටයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
....................
Update | 08.50 PM
බේරූට්හි නගරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් සිදු කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.
එම ප්‍රහාරවලින් අනතුරුව බේරූට්හි නගරය ඉහළින් දුමාරය නැගෙමින් පවතින බව පෙන්වන නව ඡායාරූප කිහිපයක්ද මේ වන විට ප්‍රචාරය වී ඇත.
....................
Update | 08.00 PM
මැදපෙරදිග ගල්ෆ් කලාපය පුරා මූල්‍ය ආයතන කිහිපයක් තම ශාඛා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව, කලාපයේ පවතින ආරක්ෂක අවදානම් තත්ත්වය හේතුවෙන් සේවකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව ගල්ෆ් කලාපයේ මූල්‍ය ආයතන කිහිපයක් අවම වශයෙන් මෙම සතිය අවසන් වන තෙක් තම ශාඛා තාවකාලිකව වසා තැබීමට නිවේදන නිකුත් කර ඇති බවද වාර්තා වේ.
....................
Update | 07.15 PM
ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තකරන පරිදි පටිගත කළ විශේෂ දේශනයක් හරහා සිදුකළ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය අවශ්‍ය බවට අවධාරණය කර ඇති බවය.
එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා දමන ලෙසද ඔහු ඉල්ලා ඇති අතර, එසේ නොකළහොත් එම කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවද අනතුරු අඟවා ඇත.
කෙසේවෙතත්, ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවයට කැපවී සිටින බවත්, ප්‍රහාර ඉලක්ක කරන්නේ අමෙරිකානු හමුදා කඳවුරු පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම, ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බවද නව උත්තරීතර නායකවරයා එම දේශනයේදී ප්‍රකාශ කර ඇත.
....................
Update | 06.15 PM
ඉරානයට එරෙහිව අමෙරිකාව ආරම්භ කර ඇති යුද්ධයේ පළමු සතියේ පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 11.3ක් බව විදෙස් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
....................
Update | 05.50 PM
ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි විසින් නිකුත් කරන ප්‍රථම පණිවිඩය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙයි.
එම පණිවිඩය වීඩියෝ ආකාරයකින්ද, ලිඛිත ප‍්‍රකාශයක් ආකාරයෙන්ද එළිදක්වනු ඇතිද, එසේම නිකුත් කිරීමේ නියමිත දිනය කවදාද යන්න තවමත් පැහැදිලි ව සඳහන් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
....................
Update | 05.30 PM
ඊශ්‍රායලය විසින් ලෙබනනයෙ දකුණු ප්‍රදේශවලෙගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
ලෙබනන් ජාතික පුවත් ඒජන්සිය සඳහන් කර ඇත්තේ, එම ප්‍රහාර අතරින් එකක් හරිස් සහ කෆ්රා නගරවල පිටත ප්‍රදේශවලට එල්ල වී ඇති බවය.
තවත් ප්‍රහාරයක් නකුරා ආසන්න ප්‍රදේශයකට එල්ල වී ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.
....................
Update | 05.00 PM
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ගල්ෆ්, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඕමානය ආශ්‍රිත මුහුදු ප්‍ර දේශ වලදී භාණ්ඩ ප්‍රවාහන නෞකා 16ක් ප්‍රහාරවලට ලක්ව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනය තුළ පමණක් නෞකා තුනක් එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඉරාකයේ බස්රා වරාය ආසන්නයේ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය පිළිබද වගකීම බාරගනිමින් ඉරානය සඳහන් කර ඇත්තේ අමෙරිකාවට අයත් අදාළ නෞකාවට සිදු කළ අනතුරු හැගවීම් නොසලකා හැරීම හේතුවෙන් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් බවය.
එම නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු ඉරාක බලධාරීන් විසින් මුදාගෙන තිබූ අතර ඉන්දීය ජාතික එක් කාර්යමණ්ඩල සාමාජිකයකු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
....................
Update | 04.21 PM
කටාර් රාජ්‍යය විසින් “ඉහළ” අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම අනතුරු ඇඟවීම මඟින් රට තුළ පදිංචි ජනතාවට හැකි තරම් ගෘහස්ථව රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
....................
Update | 04.11 PM
ඔස්ට්‍රේලියාව රජය විසින් ඊශ්‍රායලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ හි සේවය කරන “අත්‍යවශ්‍ය නොවන” රාජතාන්ත්‍රික නිලධාරීන් එම රටවලින් ඉවත් වීමට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් Penny Wong සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය රාජතාන්ත්‍රික නිලධාරීන් පමණක් එම රටවල රැඳී සිටින බවය.
Penny Wong සිය X ගිණුමේ සඳහන් කර ඇත්තේ, එම නිලධාරීන් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඊශ්‍රායලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ තවදුරටත් සේවය කරනු ඇති බවය.
....................
Update | 03.28 PM
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගෝලීය ප්‍රවාහන ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
ගුවන් සේවා සමාගම්වලට ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇත.
විශේෂයෙන්ම බොරතෙල් මිලට වඩා වේගයෙන් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල ඉහළ යාම මෙම තත්ත්වය තව තවත් තිව්‍ර කර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ ආරම්භ කර ඇති යුදමය වාතාවරණය හමුවේ Refining Margins පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ගුවන් සමාගම් රැසක් දැනටමත් සිය ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට, අමතර ඉන්ධන අධිභාර (Fuel Surcharges) පැනවීමට සහ ගුවන් ගමන් වාර සීමා කිරීමට පියවර ගනිමින් සිටී.
....................
Update | 02.50 PM
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවත් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවත් කුවේට් රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
....................
Update | 02.35 PM
මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගල්ෆ්, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන් බොක්කෙහි යාත්‍රා 16කට ප්‍රහාර එල්ලවී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
....................
Update | 12.00 PM
ගල්ෆ් කලාපයේ තෙල් නැව් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාක තෙල් අමාත්‍යාංශය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, "මුහුදු මාර්ග ආරක්ෂා කරන ලෙස" ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි.
ඉරාක පුවත් ඒජන්සිය 'Iraq News Agency' මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගවල සංචාලන කටයුතුවල ආරක්ෂාව සහ බලශක්ති සැපයුම් මාර්ගවල සුරක්ෂිතභාවය කලාපීය ගැටුම් සහ එදිරිවාදිකම්වලින් බැහැරව පැවතිය යුතු බවය.
ඊයේ රාත්‍රියේ ඉරාක වෙරළට ඔබ්බෙන් වූ තෙල් නැව් දෙකකට එල්ල වූ දැඩි ප්‍රහාර හේතුවෙන් එම නෞකා ගිනිබත් වීමෙන් අනතුරුව ඉරාකය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
....................
Update | 11.30 AM
තායිලන්ත ධජය යටතේ යාත්‍රා කරන 'මයුරී නාරි' Mayuree Naree නෞකාවට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඊයේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තායිලන්ත විදේශ අමාත්‍යාංශය විසින් එරට ඉරාන තානාපතිවරයාව කැඳවා තිබේ.
විදෙස් මාධ්‍ය පවසන පරිදි නෞකාව මෙහෙයවන සමාගම ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් පසු එහි කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවය.
ඔවුන් නෞකාවේ එන්ජින් කාමරය තුළ සිරවී සිටින බවට සැක කරන බව ද වාර්තා වේ.
......................
Update | 11.07 AM
ලෙබනනයේ බීරූට් නගරයේ පිහිටි හිස්බුල්ලා මූලස්ථාන 10 ක් වෙත ඊශ්‍රායලය විසින් මිනිත්තු 30 ක් ඇතුළත එල්ල කළ ප්‍රහාර හමුවේ පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
....................
Update | 10.00 AM
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට "විනාශකාරී" තත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති බවට එම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
Update | 09.00 AM - ඉරාක මුහුදු සීමාවේ දී ඉරානය තෙල් නැව් දෙකක් ගිනිබත් කරයි
ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අදාළ නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති නමුත්, එක් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
...........
Update | 08.39 AM - ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මැදපෙරදිග කළාපයේ පවතින යුදමය තත්ත්වය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
...........
Update | 07.17 AM - යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.
ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.
.......................
Update | 07.15 AM - ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවය.
"මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?" යනුවෙන් ඔහු එහිදී ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
.................
Update | 07.10 AM -
ඉරානයට සිදුකරන පහරදීම් තවමත් අවසන් කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහරදුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස අමෙරිකාව ඉරානයට පහරදී ඇති බවය.
.........................
Update | 07.06 AM - මැදපෙරදිග යුද්ධය ගැන රුසියාව UN ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.
.........................
Update | 6.10 AM - ගල්ෆ් මුහුදේ ගිනි ගෙන දැවුණ තෙල් නැව
පර්සියානු ගල්ෆ් මුහුදු කලාපයේ දී එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් ඕමාන තෙල් නෞකාවක් ගිනි ගෙන දැවෙන වීඩියෝ පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ.
ප්‍රහාරයෙන් නැවෙහි වූ තෙල් ටැංකි දෙකක් පුපුරා යෑමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
