වසරේ ගතවූ මුල් මාස 2 තුළ රටවිරු සුභ සාධනයට කාර්යාංශයෙන් ලක්ෂ 962ක්

වසරේ ගතවූ මුල් මාස 2 තුළ රටවිරු සුභ සාධනයට කාර්යාංශයෙන් ලක්ෂ 962ක්

March 13, 2026   04:01 pm

මෙම වසරේ මුල් මාස 2 තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභ සාධනය වෙනුවෙන් ප්‍රතිලාභීන් 5,938 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 962ක මුදලක් වැය කර ඇති බව එම කාර්යාංශය පවසයි.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී නොමිලේ රක්ෂණාවරණයක් හිමිවන අතර ඒ යටතේ ශ්‍රමිකයින් 116 දෙනෙකු සඳහා රුපියල් මිලියන 39.76ක ප්‍රතිලාභ මේ වසර තුළදී කාර්යාංශය ලබා දී තිබේ.

එසේම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක්ද කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ දරුවන් 5,775 දෙනෙකු සඳහා රුපියල් මිලියන 55.63ක් වටිනා පාසල් උපකරණද මෙම වසරේ ගතවූ මාස 2ක කාලය තුළදී කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ.

එසේම විශේෂ අවශ්‍යතා හඳුනාගත් දරුවන් 34 දෙනෙකු වෙනුවෙන් රුපියල් 660,000ක ආධාර හා විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 14 දෙනෙකුගේ වෛද්‍ය සහාය වෙනුවෙන් රුපියල් 248,000ක මුදලක්ද කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ.

කාර්යාංශය පැවසුවේ රටට වැඩිම විදෙස් විනිමය ප්‍රමාණයක් ලබාදෙනු ලබන විගමණික ශ්‍රමිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් කාර්යාංශය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් විදේශ ගත ශ්‍රමිකයෙකුගේ මරණයකදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ලබාදෙනු ලබන වන්දි මුදල් ප්‍රමාණයද ඉහළ නැංවිමට පියවර ගෙන ඇති බවය.

ඒ අනුව රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 20 දක්වා මෙම රක්ෂණාවරණය ඉහළ නංවා ඇති බවද එම කාර්යාංශය සඳහන් කළේය.