මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු හෙළි වෙයි
March 13, 2026 09:01 pm
මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සිය භාරයට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගැනුණි.
ඒ අනුව නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත මත්ද්‍රව්‍ය හා ගිනිඅවි සමග අදාළ සැකකරුවන් 10 දෙනා භාරදී තිබේ.
නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් හා ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන ඊයේ (12) දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවය.
