යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 14, 2026   06:37 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (14) දින 15ක් ගතවී තිබේ.

--------------------------------

06.10 pm

ඉරානය සමඟ පවතින යුද්ධය මේ වන විට "තීරණාත්මක අදියරකට එළඹෙමින් පවතින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉස්‍රායල් කැට්ස් (Israel Katz) පවසයි. 

ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ පිහිටි හමුදා ඉලක්ක වෙත ඇමරිකාව එල්ල කළ ප්‍රහාර ඔහු මෙහිදී ඇගයීමට ලක් කළේය.

හමුදා ඉහළ නිලධාරීන් අමතමින් රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ " අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් ඉරානයට එරෙහිව ගෙන යන ගෝලීය සහ කලාපීය අරගලය දැන් තීව්‍ර වෙමින් පවතිනවා. මෙය අවශ්‍ය තාක් කල් පවතින තීරණාත්මක අදියරකට දැන් පිවිස තිබෙනවා'' ලෙසය.

--------------------------------------

06.05 pm

අද (14) දිනයේ ඉරානයේ සිට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 9ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 33ක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, පෙබරවාරි 28 වැනිදා ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් බැලස්ටික් මිසයිල 294ක්, කෲස් මිසයිල (Cruise missiles) 15ක්, ඩ්‍රෝන ප්‍රහාර 1,600ක් සාර්ථකව විනාශ කර ඇත.
-----------------------------------------

05.50 pm

ඉන්දියානු නෞකා කිහිපයකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා සීමිත ආරක්ෂිත අවසරයක් ලබා දී ඇති බව ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි පවසයි. 

කෙසේ වෙතත්, නෞකා කීයකට මෙම අවසරය ලැබුණේද යන්න ඔහු නිශ්චිතව සඳහන් කර නොමැත.

නවදිල්ලියේ පැවති 'ඉන්දියා ටුඩේ' (India Today) සමුළුවේදී අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය විසින් මෙම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනය බොහෝ දුරට නවතා දමා ඇති පසුබිමක, ඉන්දියාවට ලබා දුන් මෙම සහනය ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ.

--------------------------------

05.40 pm

පසුගිය සතිය පුරා ඉරානය විසින් ජෝර්දානය දෙසට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 85ක් එල්ල කර ඇති බව ජෝර්දාන හමුදාව පවසයි.

ජෝර්දාන ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඉන් 79ක් අතරමගදී විනාශ කර ඇති අතර, ඩ්‍රෝන ප්‍රහාර 5ක් සහ එක් මිසයිලයක් ජෝර්දාන භූමිය තුළට පතිත වී ඇත.

-----------------------------------------

05.33 pm

ඉරානයට එරෙහිව සිදු කරනු ලබන යුද්ධයේදී අමෙරිකාව විසින් දෛනිකව ඩොලර් මිලියන 890ක් වැය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වොෂිංටනය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය සිකුරාදා නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය. 

දෛනිකව ගුවන් මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 30ක්, නාවික මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 15ක් සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා ‌ඩොලර් මිලියන1.5ක් වැය කරන බව සඳහන්ය.

යුද්ධය ආරම්භවී පළමු දින හය තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 11.3කට වැඩි මුදලක් වැය කර ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව "ඔපරේෂන් එපික් ෆියුරි" ලෙස නම් කර ඇති මෙය අමෙරිකාව මේ දක්වා සිදු කළ මිල අධිකම හමුදා මෙහෙයුම බවට පත්ව තිබීමත් විශේෂත්වයකි.

අදාළ වාර්තාවට පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ප්‍රහාරවල පළමු පැය 100 සඳහා පමණක් ඩොලර් බිලියන 3.7ක් වැයවී ඇත.

පළමු සතිය සඳහා පමණක් අමෙරිකානු බදු ආදායමෙන් ඩොලර් බිලියන 11කට වඩා ප්‍රමාණයක් වැය කර ඇති බවයි පෙන්ටගනය කොංග්‍රස් මණ්ඩලයට දැනුම්දී තිබේ.

2025 වසරේ ජූනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කළ "ඔපරේෂන් මිඩ්නයිට් හැමර්" මෙහෙයුම සඳහා වැය කළ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.26කි.

මෙම මෙහෙයුම පැය දෙකහමාරක කාලයක් පුරා ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

--------------------------------

05.00 pm

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් අපනයනය නතර වී ඇති පසුබිමක, ඒ සඳහා විකල්ප මාර්ග සෙවීමට තමන් කටයුතු කරමින් සිටින බව ඉරාකය පවසයි.

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් (1/5) පමණ ප්‍රවාහනය කරනු ලබන මෙම මුහුදු මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

--------------------------------

04.45 pm

කාර්ග් දූපතේ (Kharg Island) තෙල් අපනයන කටයුතු "සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන" බවත්, එහි ස්ථාපිත තෙල් සමාගම්වල ක්‍රියාකාරකම් කිසිදු බාධාවකින් තොරව සිදුවන බවත් ඉරාන නිලධාරියෙකු එරට පුවත් ඒජන්සි වෙත පවසා තිබේ.

---------------------------
04.11 pm
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා පැරිස් නුවරදී පැවැත්වීමට පහසුකම් සැලසීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් මැක්‍රොන් කියා සිටියේ, තමන් සිකුරාදා දින ලෙබනන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊශ්‍රායලය සමඟ "සෘජු සාකච්ඡා" සඳහා කැමැත්ත පළ කළ බවත්ය.

---------------------------------

03.48 pm

දකුණුදිග බීරූට් ප්‍රදේශයට දිනපතා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වුවද, ලෙබනනයේ ජාතික ගුවන් සේවය තවමත් සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

------------------------------------------

03.35 pm

ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා මිසයිල 124ක් සහ ඩ්‍රෝන යානා 203ක් තමන් විසින් ගුවනේදීම විනාශ කර දැමූ බව බහරේන ආරක්ෂක බළකාය පවසයි.

ගල්ෆ් කලාපයේ පිහිටි මෙම කුඩා රාජ්‍යය තුළ අමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණිය (Fifth Fleet) ස්ථාපිත කර ඇති අතර, පසුගිය සති දෙකක කාලය පුරාම ඉරානය විසින් අඛණ්ඩව බහරේනය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර සිටී.

------------------------------------------

03.20 pm

අමෙරිකාව විසින් ඉරානයේ කාර්ග් දූපතට (Kharg Island) ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පිහිටි අමෙරිකානු 'සැඟවුණු මධ්‍යස්ථාන' (hideouts) නීත්‍යානුකූල යුද ඉලක්ක බවට පත්වන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) එමීර් රාජ්‍යයට දැනුම් දී ඇත.
 

--------------------------------------

02.55 pm

ඉරානයේ නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් අමෙරිකාවට 'දරුණු පළිගැනීමකට' මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාවේ ඉරාන තානාපති පවසයි.

රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, මොස්කව් නුවර ඉරාන තානාපති කාසෙම් ජලාලි අනතුරු අඟවා ඇත්තේ ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමෙයිනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙසය.

මොජ්ටාබාගේ පියා වන අලි කමෙයිනි ඝාතනය කිරීමෙන් පසු ඉරාන වැසියන් "ලේ පලිගැනීමක්" අපේක්ෂා කරන බව ද ජලාලි පැවසීය.

--------------------------------

02.45 pm

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ "බහුදේවවාදයට සහ කුහකත්වයට" එරෙහිව මැදපෙරදිග කලාපය එක්සත් විය යුතු බව ඉරාන හමුදා ප්‍රකාශකයෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල් අබොල්ෆාස්ල් ෂෙකාර්චි ඉල්ලීමක් කර ඇත.
---------------------------------------------------------

02.25 pm

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අතරින් බහුතරය ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පදිංචිකරුවන් වන බවය.

ගැටුම්කාරී වාතාවරණය අඛණ්ඩව පැවතීම හේතුවෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔවුන් පෙන්වා දී ඇත.

ඉරානයේ පුද්ගලයින් 25,000කට අධික පිරිසක් ගැටුම් ආරම්භයෙන් පසු මේ දක්වා ඇෆ්ගනිස්ථානයට පළාගොස් ඇති බව ද සදහන් වේ.
---------------------------------------

02.05 pm

ඉරානයේ කුර්දිස්තාන පළාතට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 112දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 969දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

-------------------------------------

01:45 pm

ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසන්නේ තමන් දකුණු ලෙබනනයේ පිහිටි අවිආයුධ ගබඩාවකට ප්‍රහාර එල්ල කළ බවය.

පසුගිය සිකුරාදා දින අල්-මජාඩෙල් (Al-Majadel) ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානය වෙත ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් රොකට් රැගෙන යන අයුරු නිරීක්ෂණය වූ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඊට මිනිත්තු කිහිපයකට පසු ඊශ්‍රායල ගුවන් හමුදාව එම ගබඩාවට ප්‍රහාර එල්ල කර එහි සිටි හිස්බුල්ලා සාමාජිකයින් විනාශ කළ බව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

-----------------------------

01:40 pm

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් ඊශ්‍රායලයට එරෙහිව 48 වැනි ප්‍රහාරක රැල්ල දියත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානයේ IRNA පුවත් ඒජන්සිය සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර මාලාව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමඟ එක්ව දියත් කර ඇති බවය.

---------------------------

01:33 pm

අමෙරිකානු හමුදාව විසින් පර්සියානු ගල්ෆ් කලාපය වෙත අතිරේක බලඇණි එවමින් සිටින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සඳහා මැරීන් භටයින් සහ නාවිකයින් 5,000කින් සමන්විත ‘Amphibious Ready Group’ (ARG) නම් ගොඩබිමට හා මුහුදට යන දෙකටම ඔරොත්තු දෙන විශේෂ බළකායක් ඇතුළත් වන බවද සඳහන්.

-----------------------------------

01:29 pm

ඉරානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එරට කෞතුකාගාර සහ ඓතිහාසික ස්මාරක ඇතුළු සංස්කෘතික ස්ථාන 56කට පමණ බරපතළ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටෙහෙරාන් පළාත එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම පළාතේ සංස්කෘතික ස්ථාන 19කට පමණ හානි සිදුව ඇති බව සඳහන් වේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඉරානයේ කුර්දිස්ථාන පළාතේ ද ප්‍රධාන ස්ථාන 12කට පමණ හානි සිදුව ඇති බවය.

---------------------------------------

01:15 pm

බටහිර ඉරානයේ ඉලාම් පළාතේ අයිවාන් නගරයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් මාස 6ක් වයසැති බිළිඳෙකු ඇතුළු එකම පවුලේ සාමාජිකයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
---------------------------------

12:49 pm

සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ''නිසි ප්‍රතිචාරයක් ලබා දෙන" බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා තිබේ.

යුද අභ්‍යාසයක් නිමා කර යළි ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. 

-------------------------------------

12:30 pm

සෞදි අරාබියේ නැගෙනහිර කලාපයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් විනාශ කර දැමූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

-------------------------------------

12:10 pm

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි තාමීර් හරෙට් සයිඩා (Taamir Haret Saida) ප්‍රදේශයට, ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-------------------------------------

11:50 am

ඉරාන යුද්ධය හේතුවෙන් කලාපයේ තෙල් සහ ගෑස් සැපයුම අඩාල වී ඇති පසුබිමක, ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට එක්සත් ජනපදයට හැකි බව අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් පවසයි.

ටෝකියෝ නුවර පැවැත්වෙන, කලාපයේ රටවල් 17ක සහභාගීත්වයෙන් යුත් 'ඉන්දු-පැසිෆික් බලශක්ති ආරක්ෂක අමාත්‍ය සහ ව්‍යාපාරික සංසදය' අමතමින් බර්ගම් කියා සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලශක්ති ආධිපත්‍යය (energy dominance) පිළිබඳ ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ ''දේශීය සමෘද්ධිය සඳහා අවශ්‍ය බලශක්තිය අප සතු බව තහවුරු කර ගැනීම සහ අපගේ මිතුරන්ට හා මිත්‍ර රටවලට බලශක්තිය විකිණීමේ හැකියාව ඇති කර ගැනීම" බවය.

එමගින් කලාපයට විශ්වාසදායක, දැරිය හැකි සහ ආරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික වන බවත්, එය "ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයක් විසින් අඩාල කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, ප්‍රධාන අපනයනකරු වන චීනය මත පවතින යැපීම අවම කිරීමට රටවල් උත්සාහ කරන බැවින්, තීරණාත්මක ඛනිජ සම්පත් (critical minerals) සුරක්ෂිතව සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව ද බර්ගම් මෙහිදී අවධාරණය කර තිබේ.

පෙබරවාරි 28වැනිදා ඉරානයට එරෙහිව අමෙරිකානු -ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමට පෙර සංවිධානය කරන ලද මෙම සංසදය, වාණිජ ගිවිසුම්වලට එළඹීමේ අරමුණින් දේශපාලන නායකයින් සහ අමෙරිකානු බලශක්ති සමාගම් එක්තැන් කරනු ලබයි.
------------------------------------

11:20 am

ජාත්‍යන්තර සම්මුතීන් හා නීතිවලට අනුකූලව "පවතින සියලු මාර්ග ඔස්සේ" අමෙරිකානු-ඊශ්‍රායල ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමට ඉරානයට ඇති අයිතිය තහවුරු කරන අතරම, "අසල්වැසි රටවල් ඉලක්ක නොකරන ලෙස හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම "මෙම ආක්‍රමණය නැවැත්වීමට සහ ඔවුන් අතර ඇති සහෝදරත්වයේ බැඳීම් ආරක්ෂා කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්" කලාපයේ සියලුම රටවලින් එම සංවිධානය ඉල්ලීමක් කර ඇත. 

------------------------------------------------

10:50 am

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් සිය ගණනක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම පුද්ගලයින් 750,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බවද වාර්තා වේ.

-------------------------------------

10:10 am

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ.

ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවය.

-------------------------------------

09:40 am

ඉරාක බැග්ඩෑඩ්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර වාර්තාකරු සඳහන් කර තිබුණේ එම තානාපති කාර්යාලයෙන් දුමාරයක් ඉහළ යන බව දක්නට ලැබුණු බවය.

-------------------------------------

08:34 am

ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා ඇත.

-------------------------------------

7.30 am

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබේ.

අමෙරිකාව තහවුරුකර ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවය.

-------------------------------------

6:37 am

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.