සිවිල් වැසියන්ට එරෙහි එල්ල කරන සියලු ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකියි
March 15, 2026 06:49 pm
සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි සෑම ප්‍රහාරයක්ම හෙළා දකින බව ශ්‍රී ලංකා රජය පවසයි.
විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය මේ බව සඳහන් කළේ, මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
සිවිල් ජනතාවට ඍජු තර්ජනයක් වන, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව සිය කනස්සල්ල ද එහිදී ප්‍රකාශ කර තිබේ.
සෑම අයුරකින්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ මූලික වගකීමක් බව ශ්‍රී ලංකා අවධාරණය කරයි.
මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය සහ ගෝලීය සාමය ආරක්ෂා කිරීම සඳහා සිය කැපවීම තුළ ස්ථිරව සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
බරපතළ මානුෂීය අර්බුදය සැලකිල්ලට ගනිමින්, ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළඳාමට ඍජුවම බලපාන තත්ත්වයන් සහ සියලු රටවලට අත්විඳීමට සිදුවී ඇති එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වන වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීන්ත්වයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම සහ අරමුණුවලට ගරු කිරීමේ අවශ්‍යතාව යළිත් ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා දැඩි ලෙස කැපවී කටයුතු කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මෙම ඉපැරණි මූලධර්මවලට ගරු කරන ලෙසට යුද්ධයට සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවයන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම මෙවැනි අවස්ථාවක උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවත් මෙම භයානක තත්ත්වය තවදුරටත් උග්රවීම වැළැක්වීම සඳහා සාකච්ඡා සඳහා නැවත එළැඹෙන ලෙසත් ශ්‍රී ලංකා අවධාරණය කරයි.
කලාපය තුළ සහ ඉන් ඔබ්බට ස්ථාවරත්වය සාමය සහ ආරක්ෂාවට එල්ල වන බරපතළ තර්ජනය සැලකිල්ලට ගනිමින්, අර්ථිවත් සංවාදයක නිරත වන ලෙසත්, ගැටුම්කාරි වාතාවරණය සමනය කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
