යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 16, 2026   06:46 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (16) දින 17ක් ගතවී තිබේ.

10.34pm

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයට පවතින බාධා ඉවත් කිරීමට උදවු වීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් කැමැත්ත පළ කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

-------------

10.08pm

මේ දක්වා පවතින යුද්ධයේදී අමෙරිකාව විසින් ඉරානයේ ඉලක්ක 7,000 කට ප්‍රහාර එල්ල කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ අතර,  මෙම මෙහෙයුම්වලදී ඉරානයට අයත් නැව් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් මුහුදුබත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

---------------

10.01pm

ඉරානය මුස්ලිම් රටවලින් ඉල්ලා සිටින්නේ ආගමික සහෝදරත්වය වෙනුවෙන් අමෙරිකාවට උදවු කිරීම නවත්වා තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි. 

------------

09.25pm

අමෙරිකානු තෙල් මිල 5% කින් පමණ අඩු වී බැරලයක් ඩොලර් 93.37 දක්වාත්, ජාත්‍යන්තර බ්‍රෙන්ට් (Brent) තෙල් මිල 2% කින් පමණ අඩු වී බැරලයක් ඩොලර් 100.28 දක්වාත් පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.

----------------

08.51pm

ඉරාකයේ බටහිර දේශසීමාවේ පිහිටි අල්-කායිම් නගරයට ඇතුළු වන ස්ථානයේ පිහිටි මුරපොළකට ප්‍රහාර එල්ල වී ඇත.

ප්‍රහාරයෙන් ඉරානයේ සහාය ලබන 'පොපියුලර් මොබිලයිසේෂන් ෆෝසස්' (PMF) කණ්ඩායමේ සටන්කාමීන් හතර දෙනෙකු 04ක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
--------------

08.39pm

ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර නිසා ඊශ්‍රායල රජය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් වසා දමා ඇති අතර, ආරක්ෂිත බංකර නොමැති ස්ථානවල වැඩ කිරීම සහ පිරිස් රැස්වීම සීමා කර තිබේ.

--------------

08.30pm

ඉරානයේ ගොඩනැගිලි සහ පද්ධති නැවත සෑදීමට වසර ගණනාවක් යන බැවින්, ඒවාට විශාල හානියක් කිරීමෙන් අමෙරිකාව වැළකී සිටින බව ට්‍රම්ප් පවසා තිබේ.

---------------

08.23pm

ඉරාන විප්ලවීය බලකාය පවසන්නේ තමන් ඊශ්‍රායල හමුදාවේ දකුණු විධානය සහ ඊශ්‍රායලයේ රෆායෙල් නම් ආයුධ නිෂ්පාදන සමාගමට අයත් මධ්‍යස්ථාන ඉලක්ක කර පහර දුන් බවයි. 
-------------

08.05pm

ඉරානය විසින් ඊශ්‍රායලයේ අෂ්කෙලෝන් සහ ටෙල් අවිව් සහ ජෙරුසලමට බටහිර දෙසින් පිහිටි ප්‍රදේශ ඉලක්ක කර නැවතත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

------------

06.55pm

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරය සහ මධ්‍යම ප්‍රදේශ ඉලක්ක කරමින් ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා වේ.

-------------

06.37pm

බහරේනය පුරා මේ වන විට අනතුරු ඇඟවීමේ සයිරන් හඬ නාද කර ඇත. 

බහරේන් රාජ්‍යය තුළ පවතින හදිසි තත්ත්වය පිළිබඳව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එරට වෙසෙන පුරවැසියන් සහ විදේශිකයන් සියලු දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි තමන්ට ළඟම ඇති ආරක්ෂිත ස්ථානයකට යන ලෙස රජය දැඩිව ඉල්ලා සිටින බවයි.

---------------

06.01pm

කටාර් බලධාරීන් විසින් රටේ ආරක්ෂක තර්ජන මට්ටම ඉහළ මට්ටමක පවතින බවට නිවේදනයක් නිකුත් කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි තම නිවාසවල හෝ ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස එරට වෙසෙන සියලුම පදිංචිකරුවන්ට දන්වා තිබේ.
 

--------------

05.07pm

හෝමුස් සමුද්‍ර සන්ධිය පොදුවේ විවෘතව පවතින නමුත්, එය තමන්ගේ සතුරන්ට පමණක් වසා ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඔවුන්ගේ සහායක රටවල් වෙත මෙම මුහුදු මාර්ගය වසා තබන බව ඔහු අවධාරණය කරයි.

---------------

04.37pm

තමා සහ ජනාධිපති ට්‍රම්ප් අතර හොඳ සබඳතාවක් පවතින බවත්, දෙරට දශක ගණනාවක සිට ශක්තිමත් මිතුරන් බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.

අමෙරිකාව සමඟ මිත්‍රත්වයක් තිබුණද, තමා තීරණ ගන්නේ බ්‍රිතාන්‍යයේ උපරිම යහපත වෙනුවෙන් පමණක් බව ද ඔහු අවධාරණය කර ඇත.

----------------

03.40pm

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා කිසිදු රටකට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා තිබේ.

-----------------

03.30pm

ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ ප්‍රධාන නගර කිහිපයකට එකවර ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

---------------------

03.20pm
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සහ හමුදා සෙබළුන් ඇතුළු පුද්ගලයින් 3,369 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි.

---------------------
02.52pm

දශක ගණනාවක් තිස්සේ පවතින ගැටුම් විසඳා ගැනීමට ඊශ්‍රායලය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට ලෙබනනයේ හිටපු ජනාධිපති මයිකල් සුලෙයිමාන් සහය පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

------------------------------

02.05pm

ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ මෙහ්රාබාද් (Mehrabad) ගුවන් තොටුපළට අද (16) අලුයම එල්ල කළ ප්‍රහාරයකින් එරට හිටපු උත්තරීතර නායක අලි කමේනි පරිහරණය කළ ගුවන් යානය විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

--------------------------------------

01.50pm
යුද්ධය ආරම්භ වූ දා සිට ටෙහෙරාන් පළාතේ පමණක් පුද්ගලයින් 503දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

------------------------------

01.25pm

ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි කාර්මික කලාපයක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආරක්ෂක කණ්ඩායම් විසින් ගින්න පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවද සඳහන්.

-----------------------------------------

01.20pm

අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ මර්කසි පළාතට එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද එම වාර්තාවේ සඳහන් වේ.

------------------------------------

01.15pm

දකුණු ලෙබනනයේ යාටර් නගරය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇත.

-------------------------------------

01.05pm

බැබිලෝනිය අසල පිහිටි ජුර්ෆ් අල්-සකර් ප්‍රදේශයේ මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ඉරාකය පවසයි.
--------------------------------

12.45pm

රියාද් සහ නැගෙනහිර කලාපවලට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන ප්‍රහාරක යානා තුනක් විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් මෙම ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළූ බවය.
--------------------------------

12.30pm

අවම වශයෙන් පුද්ගලයින් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මිනාබ් පාසල් ප්‍රහාරයේ වැරදිකරුවන් එහි වගකීම භාර ගත යුතු බව ඉරානයේ රුසියානු තානාපති කසෙම් ජලාලි පවසයි.

----------------------------------

12.10pm

අමෙරිකානු ප්‍රහාරක යානා විසින් ඉරානයේ චබහාර් නිදහස් වෙළඳ කලාපය අසල කන්දක පිහිටි හමුදා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-----------------------------------

11.30am

ඊශ්‍රායල ප්‍රහාරක යානා දකුණු ලෙබනනයේ ඛියාම් නගරයට ගුවන් ප්‍රහාර තුනක් එල්ල කර ඇත.

අද අලුයම එල්ල වූ මෙම ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

------------------------------

10.13am

ඉරාකයේ ජුර්ෆ් අල්-සකර් ප්‍රදේශයේ පිහිටි මූලස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

------------------------------

09.30am

හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කර ගැනීම සඳහා යුද නෞකා එවන ලෙස තමන් රටවල් හතකගෙන් පමණ ඉල්ලා සිටි නමුත්, ඉරාන යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යමින් පවතින පසුබිමක පවා එම ඉල්ලීම්වලට මෙතෙක් නිශ්චිත එකඟතාවක් ලැබී නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

-----------------------------

08.50am

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී ප්‍රහාරයට ලක්වූ තායිලන්තයට අයත් 'මයුරී නාරී' භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ දිවි ගලවාගත් කාර්ය මණ්ඩලය නැවත බැංකොක් නුවරට පැමිණ ඇත.

මෙම ප්‍රහාරයෙන් පසු නෞකාවේ සේවකයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වූ අතර, ඔවුන් නෞකාවේ එන්ජින් කාමරය තුළ සිරවී සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.

-----------------------------------

08.45am

ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කරමින් ඉරානය තුළ පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

---------------------------------

08.40am

ඊශ්‍රායලය විසින් බේරූට් නුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.

-----------------------------------

08.30am

පසුගිය පැය 24 තුළ කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන ප්‍රහාරක යානා දෙකක් සාර්ථකව වළක්වා බිම හෙළීමට කුවේට් ජාතික ආරක්ෂක බළකාය සමත්ව තිබේ.

-----------------------------------

08.15am

ටෙහෙරානයේ ඉන්ධන ගබඩා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් සහ "පරිසර සංහාරයක්"  ලෙස හඳුන්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එම ක්‍රියාව හෙළා දැක තිබේ.

----------------------------------

07.46am

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හට ගැනුණු අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ය.

එමෙන්ම තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.

--------------------------------

07.36am

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉරානය විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල් සහාය නොදක්වන්නේ නම්, නේටෝ (NATO) සංවිධානය "ඉතා නරක" අනාගතයකට මුහුණ දෙනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම අමෙරිකාව මෙතෙක් කල් සිය යුරෝපීය මිත්‍ර රටවල් සමඟ "ඉතා සුහදශීලීව" කටයුතු කළ බව ද එහිදී ඔහු සඳහන් කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ කණ්ඩායම් ප්‍රයත්නයක් සඳහා එක්වන ලෙස චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් ඔහු ඉල්ලීමක් සිදු කර දිනකට පසුව මෙම අදහස් දැක්වීම සිදු කර ඇත.

ලෝකයේ කාර්යබහුලම තෙල් නැව් ගමනාගමන මාර්ගය ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය සැලකෙන අතර ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් 20%ක් පමණ ප්‍රවාහනය සිදු කරන්නේ ද මෙම මුහුදු තීරය හරහාය.

------------------------------------------

07.24am

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද වැඩිදුරටත් සඳහන්.

මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති බවත්, හටගත් ගින්න පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

-----------------------------

06.40am

ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමත් සමඟ යුරෝපය පුරා ඉන්ධන මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇත. 

නෙදර්ලන්තය වැනි ඉහළ බදු සහිත රටවල ඩීසල් ලීටරයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3කට ආසන්න වී ඇත.
 
-------------------------------------

06.10am

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) සතු අවි ගබඩාවලින් බහුතරයක් තවමත් සුරක්ෂිතව පවතින බවත්, වඩාත් දියුණු ආයුධ අතිරේක සංචිත ලෙස තබාගෙන ඇති බවත් බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පවසයි.
---------------------------------------------

06.00am

අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිලී ගිය IRIS Dena නෞකාවේ සිටි ඉරාන නාවිකයන් 84 දෙනාගේ අවමංගල්‍ය උත්සවය එළඹෙන බදාදා ටෙහෙරාන් නුවරදී පැවැත්වීමට නියමිතය.

නාවිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා වන උත්සවයක් අඟහරුවාදා රාත්‍රියේ ඉරාන අගනුවර ප්‍රධාන චතුරශ්‍රයන්හිදී පවත්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මියගිය නාවිකයන්ගේ දේහයන් පසුගිය සිකුරාදා දිනයේ දී මෙරටින් පිටත් කර යැවූ බවය.

මෙම ප්‍රහාරයෙන් තවත් ඉරාන නාවිකයන් අවමංගල්‍ය 32දෙනෙකු පමණ දිවි ගලවා ගෙන ඇත.
-------------------------

05.30am
ලෙබනනයේ බේරූට් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ඉරාන අගනුවර වන ටෙහෙරානය වෙත “පුළුල් ප්‍රහාර මාලාවක්” දියත් කරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව පවසයි.