දික්ඕවිට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින් - තවත් යාත්‍රාවක් බේරුවලදී අල්ලයි
March 16, 2026 07:53 am
මත්ද්‍රව්‍ය ඇතැයි සැකසහිත ධීවර යාත්‍රාවක් පසුගියදා මිරිස්සට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
එම යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලොග්‍රෑම් 133කට ආසන්න ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම රුපියල් බිලියන 03කට ආසන්න බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
එහිදි යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත ද්‍රව්‍ය මූලික පරික්ෂාවට ලක්වූ අතර එම පරික්ෂාවේදී උර 06ක පැකට් 123ක හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133කට වැඩි ප්‍රමාණයක් ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
නාවික හමුදා භාරයටගත් අදාළ ධීවර යාත්‍රාව අද (16) පෙරවරුවේ නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබේ.
නාවික හමුදාව, පොලීසිය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන ලද මෙම වැටලීමේදී යාත්‍රාවේ සිටී ධීවරයින් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර බේරුවල මුහුදු සීමාවේදී තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙහිදී අනාවරණය කළේය.
එම බහුදින ධීවර යාත්‍රාවද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
"මේ අවස්ථාවේ නාවික හමුදාව මූලික වෙලා දැනටමත් තවත් විෂ මත්ද්‍රව්‍ය රටතුළට ගෙන එන තවත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට අරන් තියෙනවා මීට සුළු මොහොතකට පෙර බේරුවල මුහුදු සීමාවට ඔබ්බෙන්. ඒකේ ප්‍රමාණය තවම අපිට හරියට දැනුම් දෙන්න බැහැ ඒකත් අපිට කියන්න පුළුවන් මෙහෙට ගෙනාවට පස්සේ."
මින් පෙරද පසුගිය සතියේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 3ක් නාවික හමුදාව විසින් වැටලූ අතර මෙම වසර තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක්ද නාවික හමුදාව විසින් වටලනු ලැබීය.
