යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 17, 2026 06:33 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (17) දින 18ක් ගතවී තිබේ.
Update - 8.45PM
සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදී, අමෙරිකාව හා ඉස්රායලය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ගල්ෆ් කලාපයට ඇතිව ඇති ආරක්ෂක බලපෑම් පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කර ඇත.
-----------------
Update - 8.15PM
2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී ඉරානයේ තරග FIFA අනුමත කළහොත් මෙක්සිකෝවේ පැවැත්වීමට තම රට සූදානම් බව Claudia Sheinbaum ප්‍රකාශ කර තිබේ.
ඉරනා පාපන්දු සම්මේලනය FIFA වෙත ඉල්ලීමක් කරමින් තම ලෝක කුසලාන තරග අමෙරිකාවෙන් මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉල්ලා ඇති පසුබිමකය.
ඉරානය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ, මෑතදී සිදුවූ අමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් තම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ඇතිවී තිබෙන අවදානම හේතුවෙනි.
-----------------
Update - 7.02PM
මැදපෙරදිග පවතින යුද තත්ත්වය සහ ගුවන් ගමන් සීමාවන් හේතුවෙන් ලුෆ්තන්සා ගුවන් සේවය සිය ගුවන් ගමන් අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර ඇත.
ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවර බලා යන ගුවන් ගමන් අප්‍රේල් 9 වනදා දක්වා අත්හිටුවා ඇති අතර සෞදි අරාබියේ රියාද් නුවර බලා යන ගුවන් ගමන් ද අප්‍රේල් 5 වනදා දක්වා නතර කර ඇත.
බ්‍රිතාන්‍ය එයාර්වේස් , එයාර් කැනඩා සහ ප්‍රධාන අමෙරිකානු ගුවන් සේවා රැසක් ද අප්‍රේල් හෝ මැයි මාසය දක්වා සිය ගුවන් ගමන් නතර කිරීමට පියවර ගෙන තිබේ.
-----------------
Update - 6.42PM
දකුණු ලෙබනනයේ රැඳී සිටින ඊශ්‍රායල සෙබළුන් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසා තිබේ.
-----------------
Update - 6.30PM
ලෝක වෙළඳපොළේ තෙල් හිඟයක් ඇතිවීමේ බිය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤය සතු හදිසි තෙල් සංචිතයෙන් බැරල් මිලියන 11.5ක් නිදහස් කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
--------------------
Update - 5.00PM
ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බව ඊශ්‍රායලය පවසා තිබේ.
---------------------------
Update - 4.40PM
ඊශ්‍රායල පොලීසියට අයත් සයිබර් තාක්ෂණ මධ්‍යස්ථාන සහ රෆායෙල් (Rafael) නම් ප්‍රසිද්ධ අවි නිෂ්පාදන සංකීර්ණයට ඉරාන හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වෙයි.
--------------------
Update - 4.00PM
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන නාවික නෞකාවේ සිටි නාවිකයන්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ලෙස ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් (Pezeshkian) එරට ජනතාවගෙන් ඉල්ලා සිටී.
--------------------
Update - 3.33PM
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි (Ali Larijani) ඝාතනය වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
----------------------
Update - 2.33PM
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමන් කිරීමේදී යුද හමුදා ආරක්ෂාව ලබාදීම ස්ථිර විසඳුමක් නොවන බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO)පවසා ඇත.
---------------
Update - 2.24PM
ඊශ්‍රායල හමුදාව විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් බසිජ් (Basij)බලකායේ ප්‍රධානී ගොලම්රේසා සොලෙයිමානි ඝාතනය කළ බව ප්‍රකාශ කර තිබේ.
--------------------
Update - 1.28PM
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ගුවන් සීමාවල පවතින අවදානම හේතුවෙන් සිය ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව නතර කර ඇති බව බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් සේවය පවසා තිබේ.
-------------------
Update - 1.09PM
ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
---------------------
Update - 1.08PM
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයට අයත් තෙල් නැව්වලට බාධාවකින් තොරව ගමන් කිරීමට ඉරානය සමඟ එකඟතාවයකට පැමිණි බව ඉරාකය පවසා තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින නමුත්, එය තම සතුරන්ට පමණක් වසා තබන බව ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණි.
----------------------
Update - 12.56PM
මීට සුළු මොහොතකට පෙර ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරය පුරා මහා පරිමාණයේ පිපිරීම් මාලාවක් සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
-----------------
Update - 12.36PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් අගනුවර ගොඩනැගිලි 12,000කට පමණ හානි සිදුව ඇති බව ඉරානය පවසයි.
-------------------------
Update - 12.06PM
සෞදි අරාබියේ නැගෙනහිර පළාතට එල්ල වූ තවත් ඩ්‍රෝන යානා කිහිපයක් වෙඩි තබා බිම හෙලීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය සමත් වී තිබේ.
---------------------
Update - 11.56AM
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඔත්තු බැලීමේ චෝදනාව මත ඉරානයේ ඊසානදිග ප්‍රදේශයේදී විදේශිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
---------------
Update - 11.20AM
ඊශ්‍රායල යුද ගුවන් යානා මගින් දකුණු ලෙබනනයේ බින්ට් ජබේල් නගරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------------
Update - 11.00AM
ඉරාන පාපන්දු කණ්ඩායම සහභාගී වන සියලුම තරග අමෙරිකාව වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) පවසා ඇත.
---------------
Update - 10.02AM
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි අනතුරු අඟවා තිබේ.
ඔහු පවසා ඇත්තේ, "අපි සතුරාගේ මෙම අපරාධය අමතක නොකරන අතර, අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නා" බවය.
එමෙන්ම සතුරා බලාපොරොත්තු නොවන ස්ථානයක සිට එල්ල කරන මාරාන්තික ප්‍රහාර මගින් ඔවුන්ට දඬුවම් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
------------------------------------
Update -10.00AM
ඉරානයේ සිට එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති (Air defences) මගින් මේ වන විට මැඩපවත්වමින් සිටින බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
-----------------------------------
Update - 09.30AM
ටෙහෙරාන් නගර මධ්‍යයට ආසන්නයේ පිහිටි අන්දර්ස්ගූ ප්‍රදේශයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
-------------------------------
Update - 09.00AM
බැග්ඩෑඩ් ගුවන්තොටුපළ අසල පිහිටි අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.
----------------------------
Update - 08.11AM
ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් තාවකාලිකව වසා දැමූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය යළි විවෘත කර තිබේ.
----------------------------
Update - 08.01AM
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේදී ඩ්‍රෝන යානා හයක් සාර්ථකව හඳුනාගෙන විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
---------------------------------------
Update - 07.55AM
බැග්ඩෑඩ්හි, ජදිරියා දිස්ත්‍රික්කයේ නිවසකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
-------------------------------------
Update - 07.45AM
ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර සිටියේ තමන් එල්ල කළ නවතම ප්‍රහාර මාලාවේ ඉලක්කය වූයේ ඉරාන අගනුවර පිහිටි යටිතල පහසුකම් බවය.
----------------------------
Update - 07.20AM
ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ.
එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද සඳහන් වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි.
මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ විය.
---------------------------
Update - 07.06AM
බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.
ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත්තේ මෙය ප්‍රහාර ආරම්භ වූ දා සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බවය.
මෙම ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.
----------------------------
Update - 06.40AM
මැදපෙරදිග යුද්ධය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පැවැත්වීමට නියමිත සමුළුව මාසයකින් පමණ ප්‍රමාද කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
-----------------------------
Update - 06.26AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ලෙස එම තීරණය ගෙන ඇත.
