දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5කට රැඳවුම් නියෝග

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5කට රැඳවුම් නියෝග

March 18, 2026   05:53 pm

දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ, බහුදින යාත්‍රාවකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා අද (18) අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් පස්දෙනෙකුව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

ඉතිරි සැකකරුවන් 5දෙනාට මෙම මස 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද නියෝග කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී බහුදින ධීවර යාත්‍රවක ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග ධීවර යාත්‍රාව පසුගිය 12 වෙනිදා පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය. 

එහි සිදුකළ විමර්ශන වලදී බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු උර 48ක් සොයාගැනීමට හැකිවිය.

ඉන් කිලෝග්‍රෑම් 478ක් අයිස් බවත්, ඉතිරි කිලෝග්‍රෑම් 176 හෙරෙයින් බවත් පොලීසිය පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධික බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය තොගයට අමතරව පිස්තෝල වර්ගයේ ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 වර්ගයේ ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් සොයාගත් අතර, එය මහ මුහුදේදි නාවික හමුදාව සිය භාරයට ගත් වැඩිම ගිනිඅවි තොගයද විය.