යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 19, 2026   06:15 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (19) දින 20ක් ගතවී තිබේ.

--------------------------

Update - 9.55PM

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවත්, විදුලිය විසන්ධි වූ බොහෝ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ.

--------------------------

Update - 9.16PM

ලෝක සාමය සාක්ෂාත් කරගැනීමට හැකි එකම පුද්ගලයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවට ජපාන අගමැතිනි සනේ ටකයිචි පවසා ඇත.

ඇය එලෙස පවසා ඇත්තේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වොෂින්ටන්හි එක්වූ මාධ්‍ය හමුවකදීය.

වර්තමානයේ ලෝකය දැඩි ආරක්ෂක අභියෝගවලට මුහුණ දී සිටින අතර ගෝලීය ආර්ථිකයද “විශාල බලපෑමකට” ලක්වීමට ආසන්න බවද ජපාන අගමැතිනි මෙහිදී පවසා ඇත.

--------------------------

Update - 8.20PM
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට දරුණු තර්ජනයක් එල්ල කරන බව ලෝක වෙළඳ සංවිධානය පවසයි.

ඒ අනුව, යුද්ධය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම, ප්‍රවාහන බාධා සහ විශේෂයෙන් පොහොර සැපයුම් කඩාකප්පල් වීම වැනි කරුණු ලෝක ආහාර නිෂ්පාදනයට හා සැපයුමට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව සඳහන් වේ.
 

--------------------------

Update - 7.16PM

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ පුද්ගලයන් 178 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රකාශ කරයි.

--------------------------

Update - 6.20PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය තුළ පවත්වන යුද මෙහෙයුම් අවසන් කරන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීම අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රතික්ෂේප කර ඇත.

-------------------------

Update - 5.45PM

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යුද්ධයේදී මියගිය සෙබළුන් සහ අමෙරිකාවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අද(19) විශේෂ මාධ්‍ය හමුමකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් එය නතර නොකරන බවයි.

-------------------------------

Update - 5.20PM

බහරේනය පුරා හදිසි අනතුරු ඇඟවීමේ සයිරන් හඬ නාද වීමත් වී ඇති අතර ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
-------------------------------

Update - 5.00PM

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන්කිරීමේ දී ගාස්තු අය කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් සිටින බව ඉරානයට සම්බන්ධ ISNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

------------------------

Update - 4.26PM

තම රටේ බලශක්ති මධ්‍යස්ථානවලට නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල ඇති සියලුම තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන බවට ඉරානය තරයේ ප්‍රකාශ කර තිබේ.

---------------------

Update - 3.57PM

කලාපයේ පවතින අනාරක්ෂිත යුද තත්ත්වය හේතුවෙන් තම රටේ ගුවන් සීමාව තවත් දින තුනක් යනතුරු වසා තැබීමට ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.

-----------------------

Update - 3.23PM

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉරානය සමඟ පවතින යුද්ධය නිසා තායිවානයට ඇති වී තිබෙන බලශක්ති ගැටලුවලට එකම විසඳුම චීනය සමඟ සාමකාමීව යළි එක්වීම බව චීනය පවසා තිබේ.

--------------------

Update - 3.20PM

ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් තවත් නවතම මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.

----------------------

Update - 3.05PM

දකුණු ලෙබනනයේ පිහිටි රෝහලක් අසලට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි.
-----------------------

Update - 2.51PM

ඉරානයේ හමාදාන් පළාතේ පිහිටි සනන්දජ් (Sanandaj) ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදාවට අයත් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.

------------------

Update - 2.50PM

අමෙරිකාව අනවශ්‍ය යුද්ධයක පැටලී සිටින බවත්, එයින් මිදීමට අමෙරිකාවේ මිත්‍ර රටවල් සහාය විය යුතු බවත් ඕමාන් විදේශ අමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

------------------------

Update - 2.33PM

ගාසා නගරයේ සෙයිටුන් (Zeitoun) ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

-------------------------

Update - 2.19PM

ගාසා නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ රැස්ව සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
--------------------

Update - 1.52PM

ඊශ්‍රායලය විසින් ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනය කිරීම චීනය දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඔහුගේ ඝාතනය පිළිගත නොහැකි බව චීනය පවසයි.

------------------------

Update - 1.43PM

කුවේට් රාජ්‍යයේ මිනා අල්-අහ්මදී (Mina Al-Ahmadi) තෙල් පිරිපහදුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න සාර්ථකව පාලනය කර ඇති බව වාර්තා වේ.

-----------------------

Update - 1.42PM

තමන්ට එල්ල වූ ප්‍රහාරවලට සහාය දුන් බවට චෝදනා කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වන්දි ලබා දෙන ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.

----------------------

Update - 1.17PM

ඉරාකයේ ක්‍රියාත්මක වන, ඉරානයේ සහාය ලබන PMF (Popular Mobilisation Forces) සන්නද්ධ කණ්ඩායමට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

----------------------

Update - 1.13PM

මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගෑස් මිල 20% කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

---------------------------

Update - 1.12PM

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයේ පුද්ගලයින් 170කට වැඩි පිරිසකට තුවාල සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

--------------------

Update - 1.05PM

කුවේට් නගරයට දකුණින් පිහිටි මිනා අල්-අහ්මදී (Mina al-Ahmadi) තෙල් පිරිපහදුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබේ.
-------------------

Update - 12.50PM

සෞදි අරාබියේ රියාද් නුවරදී බදාදා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසු රටවල් 12ක විදේශ අමාත්‍යවරුන් එක්ව ඉරානයෙන් විශේෂ ඉල්ලීමක් ලෙස ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

ලෝක වෙළඳාමට ඉතා වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්දෙබ් යන මුහුදු මාර්ග අවහිර නොකරන ලෙසත්, නාවික කටයුතුවලට තර්ජනයක් නොවන ලෙසත් ඔවුහු ඉරානයෙන් ඉල්ලීම් සිදුකර ඇති බව සඳහන් වෙයි.

------------------------

Update - 12.36PM

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ්හි ගුවන්තොටුපොළ අසල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

---------------------

Update - 12.00PM

ඉරානයේ දොරුද් (Dorud) ප්‍රදේශයේ ජනාවාස ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 116 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

-----------------------

Update - 11.50AM

පොලිස් නිලධාරීන් මරා දැමීම සහ අමෙරිකාවට හා ඊශ්‍රායලයට පක්ෂව කටයුතු කිරීම යන චෝදනා මත  ඉරාන රජය විසින් පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම ලබා දී ඇත.

-------------------------

Update - 10.00AM

මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 30 වනදා දක්වා ඩුබායි සහ රියාද් වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් අවලංගු කිරීමට Cathay Pacific ගුවන් සේවය පියවර ගෙන ඇත.

තම මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම වගකීම බව පෙන්වා දෙන එම ගුවන් සේවය, ඉදිරි දින කිහිපය තුළ ගුවන් ගමන් කාලසටහන්වල තවත් වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය විය හැකි බවටද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

---------------------

Update - 9.45AM

පර්සියානු ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ තවත් නෞකාවකට හඳුනා නොගත් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය 'UKMTO' වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව පසුවන බව එම ආයතනය වැඩිදුරටත් තහවුරු කළේය.

--------------------

Update - 9.15AM

ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන ඉරානයේ සවුත් පාර්ස් බලශක්ති බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් තිබේ.

------------------

Update - 8.45AM

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් අනුමත කරන ලෙස අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

-------------------

Update - 8.20AM

කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ මිසයිල ප්‍රහාර හේතුවෙන් හටගත් සියලුම ගිනි ගැනීම් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් සමත් වී ඇති බව කටාර් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාරවලින් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවය.

-------------------

Update - 8.00AM

ඉරානයේ සවුත් පාර්ස් ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව බව ඔහු පෙන්වා දෙයි.

තම Truth Social සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්මේ බව සඳහන් කර තිබේ.

---------------------

Update - 7.45AM

සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු පවසයි.

රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත්, මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවත්ය.

-------------------

Update - 7.30AM

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ප්‍රකාශ කර තිබේ. 

ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා එක් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

-------------

Update - 6.30AM

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය අඟහරුවාදා පැවති මිලට වඩා 5% කට වඩා වැඩි වෙමින් ඩොලර් 109.91 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.
-------------------

Update - 6.15AM

කටාර් රාජ්‍යයේ ප්‍රධාන LNG සැකසුම් මධ්‍යස්ථානය පිහිටි රාස් ලෆාන් කලාපයට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව කටාර් බලශක්ති සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ අතර, අද (19) අලුයම එල්ල වූ මිසයිල ප්‍රහාර කිහිපයක් මැඩපැවැත්වීමට පියවර ගැනීමෙන් පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ආරක්ෂිත පියවරක් ලෙස සිය ගෑස් පර්යන්ත වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.