යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 20, 2026 06:00 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (20) දින 21ක් ගතවී තිබේ.
Update - 8.35PM
ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි විසින් එරට නව වසර වෙනුවෙන් ලබා දෙන නව්රුස් පණිවුඩය නිකුත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
එම පණිවුඩය මගින් ඛමේනි අවධාරණය කර ඇත්තේ එළඹෙන වසර "ප්‍රතිරෝධී ආර්ථිකයක්" සහිත වසරක් විය යුතු බවත් එය "ජාතික සමගිය සහ ජාතික ආරක්ෂාව යන සෙවණැල්ල යටතේ සැමරිය යුතු" බවත් ය.
-------------------
Update - 8.30PM
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කරන ලද තවත් මිසයිල ප්‍රහාර මාලාවකින් පසු, ජෙරුසලමේ පැරණි නගරයට මිසයිලයක් පතිත වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ පිහිටි රථ ගාලකට හානි සිදුව ඇති බව වාර්තා වන නමුත්, මේ වන තෙක් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැත.
------------------------
Update - 8.25PM
කලාපීය අස්ථාවරත්වය හේතුවෙන් නේටෝ සංවිධානය ඉරාකයේ සිටි තම කාර්ය මණ්ඩලය ඉවත් කර ගෙන ඇති බව ඉරාකයේ ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලයේ උපදේශක සයීඩ් අල් ජයාෂි ප්‍රකාශ කර ඇත.
මෙම ඉවත් කර ගැනීම තාවකාලික පියවරක් බවත්, ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වී ඉරාකයේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු නේටෝ නිලධාරීන් නැවත ඉරාකයට පැමිණෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
--------------------
Update - 8.20PM
ටෙහෙරාන් නුවරදී එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන බුද්ධි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මියගොස් ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.
---------------
Update - 8.13PM
කුවේට් රාජ්‍යයට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර, ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කුවේට් එමීර්වරයා වන ෂෙයික් මිෂාල් අල්-අහමඩ් අල්-ජාබර් අල් සබා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී බවද සඳහන්.
--------------------------
Update - 08.05PM
ටෙහෙරාන් නුවරදී එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන බුද්ධි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මියගොස් ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.
------------------------
Update - 7.55PM
උතුරු ඊශ්‍රායලයේ ගම්මාන කිහිපයකට සහ දකුණු ලෙබනනයේ පිහිටි ඊශ්‍රායල හමුදා ස්ථාන වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
----------------------
Update - 7.49PM
ඉරානයේ ඛාර්ග් දූපතේ තෙල් අපනයන කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බව ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුව ප්‍රකාශ කරයි.
''ඛාර්ග් දූපතේ ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කර තිබෙනවා. තෙල් අපනයනය කිසිදු ගැටලුවකින් හෝ බාධාවකින් තොරව සිදුවෙමින් පවතිනවා," යැයි එම කමිටුවේ ප්‍රකාශකයා ඉරාන මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
---------------------
Update - 7.40PM
ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ හමුදා සන්ධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර, ඔවුන් "බියගුල්ලන්" බව ප්‍රකාශ කර ඇත.
---------------------
Update - 7.32PM
සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වීමට ගිය ඩ්‍රෝන යානයක් අහසේදීම විනාශ කිරීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
--------------------
Update - 7.29PM
ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සයිරන් නලා ශබ්ද වී ඇති බව වාර්තා වේ.
-----------------------
Update - 7.13PM
ටෙහෙරාන් නුවරට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන බාසිජ් (Basij) බලකායේ ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ ප්‍රධානියෙකු මියගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
-------------------------
Update - 7.05PM
ඉරානයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි ඔස්කු (Osku) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන පුවත් සේවා වාර්තා කරයි.
------------------------
Update - 6.45PM
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, ඉරාකයේ රැඳී සිටි නේටෝ (NATO) සංවිධානයේ නිලධාරීන් සහ උපදේශකයන් පිරිසක් එරටින් තාවකාලිකව ඉවත් වී තිබේ.
------------------------
Update - 6.34PM
ඊශ්‍රායල සහ අමෙරිකානු නිලධාරීන් ලෝකයේ කොතැනක සිටියත් ඔවුන්ට ආරක්ෂාවක් නොමැති බවට ඉරාන හමුදාව අනතුරු ඇඟවීමක් කර තිබේ.
-------------------------
Update - 6.23PM
තම රටේ වැදගත් ස්ථානවලට ඉරානය දිගින් දිගටම පහර දෙන්නේ නම්, එයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන්ට සිදුවනු ඇති බවට සෞදි අරාබිය ප්‍රබල ඉඟියක් ලබා දී ඇත.
---------------------
Update - 6.18PM
ස්කොට්ලන්තයේ පිහිටි බ්‍රිතාන්‍යයේ ඉතාමත් රහසිගත සහ වැදගත් න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරකට අවසරයකින් තොරව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
---------------------
Update - 6.08PM
අමෙරිකාවට සිය යුද කඳවුරු භාවිතා කිරීමට ඉඩ දීම ඉරානය විසින් විවේචනවලට කර ඇති අතර එයට පිළිතුරු ලෙස බ්‍රිතාන්‍ය රජය පවසන්නේ තමන් මෙම යුද්ධයට සෘජුව මැදිහත් නොවන බවයි.
--------------------------
Update - 5.56PM
ඊශ්‍රායලයේ දැවැන්තම අවි නිෂ්පාදන සමාගමක් වන එල්බිට් සිස්ටම්ස් (Elbit Systems) ආයතනයට සම්බන්ධ චෙක් ජනරජයේ පිහිටි කම්හලකට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ.
---------------------------
Update - 5.50PM
බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල පිහිටි අමෙරිකානු හමුදා පාලනය යටතේ පවතින වික්ටරි (Victory) කඳවුර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර ඇත.
-----------------------
Update - 5.42PM
අමෙරිකා - ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය කොතරම් දරුණු වුවත්, යුක්රේනයට ලබා දෙන සහයෝගය අත්නොහරින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) ප්‍රකාශ කර ඇත.
--------------------------
Update - 5.36PM
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව නොමග යවන සුළු තොරතුරු සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනා මත පුද්ගලයින් 109 දෙනෙකු අබුඩාබි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
-----------------------
Update - 5.13PM
ඉරාන යුද්ධය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයට අවි ආයුධ අපනයනය කිරීම සඳහා ලබාදෙන අනුමැතිය ස්විට්සර්ලන්ත රජය විසින් තාවකාලිකව නතර කර ඇත.
------------------------
Update - 5.11PM
ඊශ්‍රායලයේ 'අයර්න් ඩෝම්' නැමැති ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධතිය පිළිබඳ රහස් තොරතුරු ඉරානයට ලබා දුන් බවට 26 හැවිරිදි ඊශ්‍රායල අතිරේක හමුදා සෙබළෙකුට එරෙහිව නඩු පවරා ඇති බව සඳහන් වෙයි.
------------------------
Update - 5.08PM
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ලෝක වෙළඳපොළේ ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා ඉරාන තෙල් නැව්වලට පනවා ඇති තහංචි ඉවත් කිරීමට ඇමරිකාව සූදානම් වන බව වාර්තා වේ.
----------------------------
Update - 4.58PM
අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය නිසා ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථාන හරහා සිදුවන ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
--------------------
Update - 3.33PM
අමෙරිකානු හමුදාවන්ට බ්‍රිතාන්‍ය යුද කඳවුරු භාවිතා කිරීමට ඉඩ දීම "ආක්‍රමණයකට හවුල් වීමක්" ලෙස සලකන බව ඉරානය බ්‍රිතාන්‍යයට දන්වා ඇත.
------------------------
Update - 3.27PM
අමෙරිකා - ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය නිසා ලෝක ඉතිහාසයේ දරුණුතම තෙල් සැපයුම් බිඳවැටීම සිදුවෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) අනතුරු අඟවයි.
--------------------------
Update - 2.30PM
ඊශ්‍රායලය, අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වී ඇති තර්ජනය හමුවේ, තෙල් සැපයුම ස්ථාවරව තබා ගැනීමට පියවර ගන්නා ලෙස චීනය ඉල්ලා සිටින බව සඳහන් වෙයි.
----------------------
Update - 2.22PM
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින දරුණු ගැටුම් හේතුවෙන් ලෙබනනයේ වැසියන් ලක්ෂ 10කට අධික පිරිසකට තම නිවාස අතහැර පලා යාමට සිදුව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
---------------------------
Update - 2.12PM
ඉරාන වැසියන් සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වන නව්රුස් සැමරීමට සූදානම් වන මොහොතක, එරට අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව දින 21ක් පුරා අත්හිටුවා ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks වාර්තා කරයි.
-------------------------
Update - 2.06PM
අද අලුයම දකුණු ලෙබනනයේ නිවසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන පුවත් ඒජන්සිය වාර්තා කරයි.
---------------------------
Update - 1.40PM
ඉරාන විප්ලවීය බලකායේ නිල මාධ්‍ය ප්‍රකාශකයා වන ජෙනරාල් අලි මොහොමඩ් නයිනි (Ali Mohammad Naeini)ඊශ්‍රායල - අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඉරාන රජය තහවුරු කර ඇත.
-----------------------
Update - 1.35PM
වත්මන් යුද ගැටුම්වලදී අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය මෙන්ම ඉරානය ද යුද අපරාධ සිදුකර ඇති බවට විශ්වාස කිරීමට සාධක ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
------------------------------
Update - 1.23PM
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය 95% කින් පහත වැටී ඇති බව සඳහන් වෙයි.
-------------------------
Update - 1.10PM
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය උත්සන්න වුවහොත්, එහි සිටින පිරිස්වලට ආපසු පැමිණීමට නොහැකි වනු ඇති බවට නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවයි.
-----------------------
Update - 1.00PM
ඊයේ රාත්‍රියේ දකුණු සිරියාවේ පිහිටි හමුදා ඉලක්ක කිහිපයකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) තහවුරු කර ඇත.
-----------------------------
Update - 12.42PM
ඊශ්‍රායලය, අමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය උණුසුම හේතුවෙන්, මෙවර ඊද් අල්-ෆිතර් උත්සවයේ ආගමික වතාවත් එළිමහනේ පැවැත්වීම ගල්ෆ් කලාපයේ රටවල් විසින් සීමා කර ඇත.
කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යන රටවල බලධාරීන් දැනුම් දී ඇත්තේ යාඥා කටයුතු පල්ලි ඇතුළත පමණක් සිදු කළ යුතු බවයි.
සාමාන්‍යයෙන් රාමසාන් මාසය අවසානයේ දහස් ගණන් බැතිමතුන් විශාල එළිමහන් පිටිවලට රැස්වී යාඥා කිරීම සිරිත වුවත්, පවතින අනාරක්ෂිත තත්ත්වය මත මෙවර එම විශාල රැස්වීම් අත්හිටුවා ඇත.
-------------------------
Update - 12.12PM
ඉරානයෙන් එල්ල වූ නවතම මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු, නැවත දැනුම් දෙන තුරු ආරක්ෂිත ස්ථාන වල රැඳී සිටින ලෙස පනවා තිබූ නියෝගය ඊශ්‍රායල හමුදාව විසින් ඉවත් කර ඇත.
-------------------------
Update - 11.17AM
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් වෙත ඊශ්‍රායලය විසින් තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
-----------------------
Update - 11.00AM
පසුගිය පැය කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනය යන රටවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
-----------------------
Update - 10.41AM
කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී (Mina al-Ahmadi)නැමති තෙල් පිරිපහදුවට අද අලුයම ඩ්‍රෝන යානා කිහිපයකින් ප්‍රහාර එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය නිසා පිරිපහදුවේ කොටස් කිහිපයක ගින්නක් හටගෙන ඇති අතර, එහි වැඩකටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇත.
-----------------------
Update - 10.36AM
ලොව විශාලතම ස්වභාවික වායු පිරිපහදු මධ්‍යස්ථානයට සිදුවූ හානිය හේතුවෙන් කටාර් රාජ්‍යයට ඩොලර් බිලියන ගණනක අලාභයක් සිදුවනු ඇති බව එරට බලශක්ති අමාත්‍යවරයා පවසයි.
--------------------------
Update - 10.24AM
සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ තවත් ඩ්‍රෝන යානා හතරක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
----------------------------
Update - 10.21AM
ගාසා තීරයේ සමූලඝාතන සිදුකරන බවට ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් අන්තර්ජාතික අධිකරණයේ (ICJ) ගොනු කර ඇති නඩුවේදී, ඊශ්‍රායලයට සහය නොදීමට ජර්මනිය තීරණය කර ඇත.
-------------------
Update - 10.09AM
ලොව ප්‍රබල රටවල් කිහිපයක් (බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය සහ කැනඩාව) එක්ව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඒ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු වලට බාධා කිරීම, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙස මෙම රටවල් ඉරානයෙන් ඉල්ලා සිටී.
--------------------
Update - 9.05AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සෞදි අරාබිය සහ බහරේනය යන රටවල් සියල්ලටම පසුගිය පැය කිහිපය තුළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් ආරක්ෂක පද්ධති සියල්ල සක්‍රීය කරමින් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතික්‍රියා දක්වා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-------------------
Update - 8.59AM
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුද්ධය හේතුවෙන් ඉරානයේ මියගිය පිරිස 3,186 දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය වාර්තා කරයි.
----------------------
Update - 8.45AM
අමෙරිකාවේ පිහිටි සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත්, ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI ආයතනය විසින් සිය භාරයට ගෙන ඇත.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම ක්‍රියාව ඉරාන බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) විසින් මෙහෙයවන හැකර් ක්‍රියාකාරකම් සහ දේශසීමා මර්දන සැලසුම් අඩපණ කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් බවය.
අත්පත් කරගත් මෙම වෙබ් අඩවි භාවිතා කරමින් මාධ්‍යවේදීන්, පාලන විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන් ඝාතනය කරන ලෙසට බලපෑම් කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
-------------------
Update - 8.00AM
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස ඇත.
ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 115 සීමාවද ඉක්මවා ගොස් තිබුණි.
මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක අගයද ඩොලර් 93.43ක් දක්වා අඩුවී ඇත.
එහි අගයද ඊයේ ඩොලර් 100 ඉක්මවා ගියේය.
-------------------
Update - 7.21AM
මැදපෙරදිග යුද ගැටුම ආරම්භයේ සිට මිසයිල 139ක් සහ ඩ්‍රෝන යානා 238ක් සාර්ථකව බිම හෙළූ බව බහරේන් ආරක්ෂක හමුදාව පවසයි.
-------------------
Update - 7.10AM
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු අඩු කරන්නැයි යුරෝපා කොමිසම විසින් යුරෝපා සංගමයේ රටවලට යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.
-------------------
Update - 6.50AM
පසුගිය පැය 24 තුළ රට තුළ පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර 3ක් සිදු කළ බව ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන Saraya Awliya al-Dam පවසයි
එම කණ්ඩායම තම ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉරාකයේ විවිධ ප්‍රදේශවල පිහිටි අමෙරිකා ස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර සිදුකළ බවය.
-------------------
Update - 6.15AM
ඉරානයේ, ටෙහෙරාන් නගරය පුරා දැඩි පිපිරීම් ශබ්ද ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අමෙරිකාව සහ ඊශ්‍රායල විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති අතර, ඒවා නවතා දැමීමට උත්සාහ කරන අතරතුර මෙම පිපිරීම් ඇතිවූ බවය.
-------------------
