යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 21, 2026 06:25 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (21) දින 22ක් ගතවී ඇත.
-----------------------------
ප.ව. 01.10
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි වෙනුවෙන් පැවැත්වුණු අවමංගල්‍ය පෙරහැර සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
-------------------------------
ප.ව. 12.55
මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රහාර කිහිපයක් එල්ල වූ බවට ලැබුණු වාර්තා අනුව, සහන සේවා සහ මුදාගැනීමේ කණ්ඩායම් එම ස්ථාන කරා යොමු කර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.
X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිකුත් කරන ලද මෙම නිවේදනය පළ වූයේ, සෙනසුරාදා අලුයම සිට ඊශ්‍රායලය වෙත එල්ල වූ සිව්වන මිසයිල ප්‍රහාරක රැල්ලෙන් පසුවය.
තවමත් පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ ආරක්ෂිත ස්ථාන කරා ගොස් එහි රැඳී සිටින ලෙස හමුදාව නැවතත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
------------------------------
ප.ව. 12.34
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ දිගින් දිගට පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
-----------------------
ප.ව. 12.30
රාමසාන් මාසයේ අවසානය සනිටුහන් කරමින් පවත්වනු ලබන ඊද් අල්-ෆිතර් යාච්ඥාව සඳහා ඉරාකයේ ශුද්ධ වූ කර්බාලා නගරයට දස දහස් සංඛ්‍යාත ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසක් එක්රොක් වී සිටී.
කර්බාලාහි ඊද් යාච්ඥාව මෙහෙයවූ ෂෙයික් අහමඩ් අල්-සාෆි, ඉරානයට සහ ලෙබනනයට එල්ල වන ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු බව ඉරාක සහ ඉරාන පුවත් සේවා වාර්තා කර ඇත.
එමෙන්ම මාරාන්තික ගුවන් ප්‍රහාරවලින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබා දෙන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
------------------------------
ප.ව. 12.15
ඊශ්‍රායල හමුදාව විසින් තවත් මිසයිල ප්‍රහාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මෙය අද (21) අලුයම සිට නිකුත් කරන ලද සිව්වන (04) අනතුරු ඇඟවීම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තර්ජනය පහව යන තෙක් ආරක්ෂිත ස්ථාන කරා ගොස් එහි රැඳී සිටින ලෙස හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
----------------------------
ප.ව. 12.00
බලශක්ති සැපයුම් හිඟය මඟහරවා ගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ, ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් යළිත් ඉරානයෙන් තෙල් මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
---------------------------
පෙ.ව. 11.30
උතුරු ඉරානයේ ගිලාන් ප්‍රාන්තයේ කියාෂහර්හි පිහිටි දස්තක් ගම්මානයේ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
------------------------------
පෙ.ව. 11.10
බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමේ අරමුණින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව යළි තහවුරු කරන ලෙස ඉල්ලා සිටින යුරෝපීය රටවල් කිහිපයක සහ ජපානයේ කණ්ඩායම සමඟ තමන් ද එක්වන බව සෝල් පාලනය නිවේදනය කර තිබේ.
දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, "මෙම තීරණය මගින් ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ අපගේ මූලික ස්ථාවරය මෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ බාධා කිරීම් අපගේ බලශක්ති සැපයුමට සහ ආර්ථිකයට එල්ල කළ හැකි සෘජු බලපෑම පිළිබඳ අවධානය ද පිළිබිඹු වන" බවය.
---------------------------
පෙ.ව. 11.00
පසුගිය පැය දෙක ඇතුළත නැගෙනහිර ප්‍රදේශයට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන ප්‍රහාරක යානා අටක් හඳුනාගෙන විනාශ කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-------------------------
පෙ.ව. 10.55
පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ඉරානය තුළ අවම වශයෙන් පුද්ගලයින් 3,220ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 210ක් ඇතුළුව සිවිල් වැසියන් 1,398ක් ද, හමුදා නිලධාරීන් 1,165ක් ද මියගොස් ඇත.
කෙසේ වෙතත්, ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්තවලට අනුව, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මියගොස් ඇති අතර 18,551 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
--------------------------
පෙ.ව. 10.45
සිරියාවේ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ නින්දිත ආක්‍රමණය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය බලවත්ම විරෝධය ප්‍රකාශ කර තිබේ.
X සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රකාශයක් නිකුත් කරමින් සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය චෝදනා කළේ, ඊශ්‍රායලය "ජාත්‍යන්තර නීතිය සහ සිරියාවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති" බවය.
-------------------------
පෙ.ව. 10.25
ලෙබනනයේ බීරූට් නුවරට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, තම හමුදාවන් මේ වන විට ඉරාන අගනුවර වන ටෙහෙරානයට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
-------------------------
පෙ.ව. 10.05
අමෙරිකානු -ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමා කිරීම් මධ්‍යයේ, ජපාන නෞකාවල ගමනාගමනයට පහසුකම් සැලසීමට ටෙහෙරානය සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසා ඇත.
ජපානය වැනි රටවල් ටෙහෙරානය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන්නේ නම්, ඔවුන්ගේ නෞකාවල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීමට ඉරානය සූදානම් බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
-----------------------------
පෙ.ව. 9.30
ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියාගෝ ගාර්ෂියා කඳවුරට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් අමෙරිකානු සහ මහා බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පවතින මෙම හමුදා කඳවුරට ඉන් බලපෑමක් සිදුනොවූ බව අමෙරිකාව පවසා තිබේ.
------------------------------
පෙ.ව. 7.15
ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප් , හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව පවසයි.
------------------------------
පෙ.ව. 6.30
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
