අද ඉන්ධන නොදීම නිසා කොලොන්නාව නිමාව වෙත පැමිණි බවුසර් හැරී යයි
March 21, 2026 10:00 am
අද (21) සහ හෙට (22) යන දිනයන්වල ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව පැවසුවත් අද දිනයේ කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙන බව වාර්තා වෙයි.
අද දෙරණ වාර්තාකරුවන් පවසන්නේ ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද උදෑසන කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් ආපසු හැරී යන ආකාරය දැක ගන්නට හැකිවූ බවය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (20) පැවසුවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.
එවන් පසුබිමක මෙලෙස අද කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් හැරී යන අයුරු දක්නට ලැබුණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද සිදුකළ විමසීමකදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා 'අද දෙරණ' ට සඳහන් කළේ,
"ඊයේ රාත්‍රිය වෙනකොට ඩීසල් මෙට්‍රික්ටොන් 10,000කට ආධික ප්‍රමාණයක් අපි නිකුත් කළා. ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7,000ක ප්‍රමාණයක් නිකුත් කළා."
"සාමාන්‍යයෙන් අපි දවසකට ඩීසල් නිකුත් කරන්නේ 4,880ක් වගේ ප්‍රමාණයක්. ඒ් කියන්නේ දෙගුණයක් වගේ නිකුත් කරලා තියෙනවා."
"ඊයේ (20) දිනයට සහ අද (21) දිනයට යවන්න තිබ්බ ඇනවුම් ඔක්කොම වගේ අපි ඊයේ රාත්‍රිය වෙද්දි පිටත් කර හැරියා."
"අද උදෑසන අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා, ඩිපෝ, විදුලි බලාගාර වගේම ගුවන් යානා තෙල් බෙදාහැරීම."
"ඊට අමතරව අද පස්වරුව වෙද්දී අපි තවත් ස්ථානවල අවශ්‍යතාවයක් තිබුණොත් එම ස්ථානවලට බෙදන්න බලාපොරොත්තු වෙනවා."
"අපේ සපුගස්කන්ද, කොලොන්නාව සහ මුතුරාජවෙල කියන ප්‍රධාන පර්යන්ත 3ම මේ වෙද්දී විවෘත් කරලා තෙල් බෙදාහැරීම කරනවා."
"නමුත් බෙදුම්කරුවන් අදට දාලා තිබ්බ ඇනවුම් ඔක්කොම වගේ ඊයේ රාත්‍රිය වෙද්දී ඉවර කරන්න ලෑස්ති කරලා තිබුණේ."
"බවුසරයක් පුරවලා තියාගන්න අපි තෙල් දෙන්නේ නැහැ. අද පස්වරුව වෙද්දි තත්ත්වය බලලා අද පස්වරුවේ හෝ හෙට උදේ අවශ්‍ය වුණොත් අවශ්‍ය ප්‍රමාණය නිකුත් කරනවා. පසුගිය පෝද දවසෙත් නිකුත් කළා."
"මැයි මාසයේ මුල් සතිය වෙනකම් අපි සතුව තෙල් සංචිත තිබෙනවා. කිසිම ගැටලුවක් නැහැ."
