ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ  අවදානමක්

ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

March 21, 2026   04:06 pm

බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පවසනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීම තුළ බස් රථ ධාවනයද අඩාල විය හැකි බවය.

ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කෙරුනද තවත් ප්‍රදේශවල ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට යාමේදී එම ඩිපෝ තුළ ඉන්ධන නොමැති බවට දන්වා ඇති බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනුයේ මේ හේතුවෙන් බස් රථ හිමියන් බරපතළ ගැටලු රැසකට මුහුණ පා ඇති බවය.

මෙම තත්ත්වයන් තුළ එළැඹෙන සඳුදා දින බස් ධාවනය සැලකිය යුතු මට්ටමකින් අඩාල විය හැකි බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරනුයේ අදාළ බලධාරීන් මැදිහත්ව මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

"තාමත් බස් රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදලා නෑ. දුර ගමන් බස් රථ 1700කට විතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා හදලා දීලා තිබෙනවා. පළාත් සභාවලට ඒ දත්තයන් අරන් තියෙනවායි කියලා කියනවා. මේවා තාමත් සිද්ධ වෙලා නෑ. ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දෙනවා ඇතැම් ප්‍රදේශවල නමුත් අනිත් ප්‍රදේශවල ඩිපෝවට ගියාම ඉන්ධන නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. සඳුදා වෙනකොට අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. බොහෝ දුරට බස් රථ සේවාව 50% දක්වා අඩාළ වේවි. ගිය සතියේ අපේ බස්රථවල ඉන්ධන තිබුණා. දැන් මේ වෙනකොට ඒ ඉන්ධන ඉවරයි. QR එක ගත්තාම බස් රථවලට තිබෙන්නේ ලීටර් 60යි. අධිකාරිවලින් දැනුම්දීලා තිබෙනවා ඩිපෝවලට ගිහිල්ලා තෙල් ගහන්න කියලා. දවල්කාලේ ඩිපෝවලට තෙල් ගහන්න ගියොත් බස් රථ දුවන්න වෙන්නේ නැහැ. මේක තාමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ප්‍රවාහන බලධාරීන්ට දින කිහිපයක් වෙලා මේක විසඳගන්න තවම හැකියාවක් ලැබිලා නැහැ."