යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 22, 2026 06:20 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (22) දින 23ක් ගතවී ඇත.
---------------------
Update - 07.50 PM
අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරානය ප්‍රකාශ කර ඇත.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය සම්බන්ධයෙන් පවතින උණුසුම්කාරී තත්ත්වය මෙලෙස තවදුරටත් උග්‍ර වී තිබේ.
----------------------
Update - 07.20 PM
ඊශ්‍රායල දේශසීමාව අසල රැඳී සිටින ඊශ්‍රායල සෙබළුන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පවසයි.
නිවේදන කිහිපයක් නිකුත් කරමින් එම කණ්ඩායම සඳහන් කළේ, මාර්කබා නගරයට ප්‍රතිවිරුද්ධව පිහිටි මාර්ජ් ප්‍රදේශයේ සහ ඔඩයිසේ නගරයට දකුණින් පිහිටි ජල් අල්-හම්මර් ප්‍රදේශයේ රැඳී සිටි ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවය.
-----------------------
Update - 07.20 PM
ඉරානය එල්ල කළ නවතම මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු මධ්‍යම ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයකට මිසයිල පතිත වීමෙන් හානි සිදුව ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
--------------------
Update - 07.15 PM
දකුණු ලෙබනනයේ අල්-සුල්තානියා සහ අස්-සවානා යන නගරවලට ඊශ්‍රායලය විසින් මාරාන්තික ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අල්-සුල්තානියා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, අස්-සවානා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
ලෙබනන් බලධාරීන්ට අනුව, මාර්තු 2 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 1,024දෙනෙකු මියගොස් 2,740දෙනෙකු තුවාල ලබා ඇත.
-------------------
Update - 07.10 PM
ඉරානය දෙසින් තම රට දෙසට මිසයිල රැල්ලක් පැමිණෙමින් පවතින බව ඊශ්‍රායල හමුදාව පවසයි.
අදාළ ප්‍රදේශවල සිටින ජනතාවට ඒ පිළිබඳව ජංගම දුරකථන පණිවුඩ මගින් දැනුම් දෙනු ලබන බවත්, වහාම ආරක්ෂිත ස්ථාන කරා යාමේ සම්මත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙසත් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
-------------------
Update - 07.00 PM
මැදපෙරදිග යුද්ධය නිසා සිදුවන මරණ සහ දුක් වේදනා මුළු මහත් මනුෂ්‍ය සංහතියටම අපකීර්තියක් වන අතර වහාම සටන් විරාමයක් ඇති කර ගන්නා ලෙස ලියෝ පාප් වහන්සේ යළිත් ඉල්ලීමක් කර ඇත.
මැදපෙරදිග සහ ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳින අනෙකුත් ප්‍රදේශවල පවතින තත්ත්වය තමන් දැඩි "කලකිරීමෙන්" (Dismay) යුතුව නිරීක්ෂණය කරන බව ද ඔහු පැවසීය.
---------------------
Update - 06.25 PM
දකුණු ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු මියගොස් ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් තවත් හිස්බුල්ලා සාමාජිකයන් දෙදෙනෙකු ද මියගොස් ඇති බව එහි සඳහන් වේ.
මීට අමතරව, දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයක පිහිටි හිස්බුල්ලා යටිතල පහසුකම් ලෙස හැඳින්වෙන ස්ථාන වෙත තමන් තවදුරටත් ප්‍රහාර එල්ල කළ බව හමුදාව වැඩිදුරටත් පැවසීය.
-------------------
Update - 05.52 PM
අමෙරිකා - ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට බැලැස්ටික් මිසයිල 400කට වඩා එල්ල කර ඇති බවත්, ඉන් සියයට 92ක්ම අතරමගදී විනාශ කිරීමට තම හමුදාව සමත් වූ බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.
-----------------------
Update - 05.40 PM
බැලැස්ටික් මිසයිල හතරක් සහ ද්‍රෝන ප්‍රහාරක යානා 25ක් අද (22) දිනයේදී විනාශ කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා බැලැස්ටික් මිසයිල 345ක්, කෲස් මිසයිල 15ක් සහ ද්‍රෝන යානා 1,773ක් විනාශ කිරීමට තම රට සමත් වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉරාන ප්‍රහාර හේතුවෙන් සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 160දෙනෙකු තුවාල ලබා ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වේ.
------------------
Update - 05.30 PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය පුරා එල්ල කළ ප්‍රහාරවලින් නිවාස ඇතුළු ගොඩනැගිලි 81,000කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
-------------------
Update - 05.25 PM
ඉරාන ප්‍රහාර හේතුවෙන් තම නිවෙස්වලින් ඉවත් වීමට බලකෙරුණු පුද්ගලයන් 2,700කට වැඩි පිරිසකට තමන් ආධාර කරන බව ඊශ්‍රායල සුබසාධන සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිසට, ඊයේ රාත්‍රියේ දැඩි ප්‍රහාරවලට ලක් වූ දකුණුදිග නගර වන අරාඩ් සහ ඩීමෝනා වෙතින් ඉවත් වූ පදිංචිකරුවන් 1,000ක් පමණ ඇතුළත් වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් එම නගර දෙකේ අවම වශයෙන් පුද්ගලයන් 180දෙනෙකු රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායල හදිසි සේවා අංශ ප්‍රකාශ කළේය.
--------------------
Update - 05.15 PM
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අයකිරීමට ඉරානය තීරණය කර ඇති බව එරට පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි අද ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ යුද්ධයට පිරිවැයක් දැරිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවය.
--------------------
Update - 05.10 PM
ඉරානයට එරෙහි අමෙරිකා -ඊශ්‍රායල යුද්ධයට එක්වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
දකුණු ඊශ්‍රායලයේ අරාඩ් නගරයේ ප්‍රහාරයකට ලක්වූ ස්ථානයක සිට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ සඳහා වඩාත් පුළුල් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කළ ඔහු, ඇතැම් රටවල් දැනටමත් එම දිශානතියට යොමු වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම ඊශ්‍රායල අගමැතිවරයා චෝදනා කරන්නේ, ඉරානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවය.
------------------
Update - 04.35 PM
ඊශ්‍රායලයේ ඩීමෝනා සහ අරාඩ් නගරවලට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් පසුව, බෙල්ජියම් විදේශ අමාත්‍ය මැක්සිම් ප්‍රෙවෝ විසින් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ යුදමය වශයෙන් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසය.
මෙම ප්‍රහාරවලින් සිදු වූ දරාගත නොහැකි දුක් වේදනා සහ හානි පිළිබඳව සිය කණගාටුව පළ කළ අමාත්‍යවරයා, පීඩාවට පත් සිවිල් වැසියන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළේය.
-------------------
Update - 04.30 PM
ඉරානයේ විදුලි බලාගාරවලට යම් හෙයකින් ප්‍රහාර එල්ල වුවහොත්, ඊට ප්‍රතිචාර වශයෙන් කලාපය පුරා ඇති බලශක්ති සහ තෙල් යටිතල පහසුකම්වලට වහාම ප්‍රහාර එල්ල කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කර තිබේ.
-----------------
Update - 04.25 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අසල හඳුනා නොගත් ප්‍රක්ෂේපණයකින් පිපිරීමක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය වාර්තා කරයි.
-------------------
Update - 04.06 PM
ඉරානයේ රැඳී සිටි ඕමාන් පුරවැසියන් කණ්ඩායමක් නැවත ආරක්ෂිතව ඕමානයට පැමිණ ඇති බව ඕමාන් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
---------------
Update - 03.57 PM
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද මෙහෙයුම් තීව්‍ර කරන බවට අමෙරිකාව විසින් සිදුකර ඇති තර්ජනය අතරතුර එම සබ්මැරීනය මෙලෙස අරාබි මුහුද වෙත පැමිණ තිබීම විශේෂත්වයකි.
ඔස්ට්‍රේලියාවේ පර්ත්හි සිට මාර්තු මස 06 වෙනිදා පිටත්ව ඇති HMS ඇන්සන් නම් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් සබ්මැරීනය හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න, උතුරු අරාබියානු මුහුදේ ස්ථානගත කර ඇති බවට විශ්වාස කෙරේ.
කිලොමීටර් 1,600ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් මිසයිල හා ටෝපිඩෝ වැනි ප්‍රහාරක අවි මෙම සබ්මැරීනය සතුවන බවට සැලකේ.
ප්‍රහාරක සබ්මැරීනය මෙලෙස මැදපෙරදිග කලාපයට පැමිණ ඇත්තේ ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාවට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කිරීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.
----------------------
Update - 03.45 PM
හමාස් සංවිධානයේ මූල්‍ය කටයුතුවලට සම්බන්ධ බව කියන ක්‍රියාකාරිකයෙකු ලෙබනනයේදී ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව, වලිඩ් මුහම්මද් දීබ් නමැති මෙම පුද්ගලයා ඉලක්ක කර ඇත්තේ ඊශ්‍රායලයේ 'ෂින් බෙට්' බුද්ධි අංශයේ මගපෙන්වීම යටතේ මේ සතිය මුලදී එල්ල කළ ප්‍රහාරයකිනි.
------------------------
Update - 03.40 PM
කටාර් රාජ්‍යයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදහන්ව ඇති බවට පෙර වාර්තා වුවද, යානයේ සිටි පුද්ගලයන් හත් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය දැන් තහවුරු කර තිබේ.
---------------------
Update - 03.35 PM
ඉරානයේ ආරක්ෂක හැකියාවන් පිරිහී ඇති බවට අමෙරිකාව කළ තක්සේරුවට ප්‍රතිචාර දක්වමින්, ඉරාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රේසා තලායි-නික් අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඉරාන මාධ්‍ය වාර්තා කරන පරිදි, කලාපයේ රටවලට එරෙහිව අඛණ්ඩව එල්ල වන ප්‍රහාර මගින් ඉරාන හමුදාවන්ට සිය උපායමාර්ගික සංචිත සහ දේශීය නිෂ්පාදන මත විශ්වාසය තැබිය හැකි බව ඔහු අවධාරණය කර ඇත.
----------------------
Update - 03.25 PM
ඉරානයේ හෝ ලෙබනනයේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන ඕනෑම අයෙකුට ඉතා ප්‍රබල මිලිටරි ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටී.
මෙම අනතුරු ඇඟවීම නිකුත් වූයේ උතුරු ඊශ්‍රායලයේ මිස්ගාව් අම් ප්‍රදේශයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයාමත් සමඟය.
හිස්බුල්ලා සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
-------------------
Update - 03.00 PM
ඉරානය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා බහරේනය දෙසට එල්ල වූ මිසයිල 145ක් සහ ද්‍රෝන ප්‍රහාර 246ක් සාර්ථකව හඳුනාගෙන විනාශ කළ බව බහරේන ආරක්ෂක අංශ පවසයි.
බහරේන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉරානය විසින් එල්ල කරනු ලබන මෙම අඛණ්ඩ ප්‍රහාරක රළ මැඩපැවැත්වීම සඳහා එරට ගුවන් ආරක්ෂක පද්ධති දිවා රෑ ක්‍රියාත්මක වන බවය.
--------------------
Update - 02.45 PM
හමුදා ක්‍රියාමාර්ග සඳහා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල් හයම වගකිව යුතු බවට ඉරානය එල්ල කරන චෝදනා "පදනම් විරහිත" බව එම සංවිධානයේ මහලේකම් ජසෙම් මොහොමඩ් අල්බුදයිවි ප්‍රකාශ කර තිබේ.
මහලේකම්වරයා විසින් ඉරානය විසින් ගල්ෆ් සාමාජික රටවල යටිතල පහසුකම් සහ තෙල් මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකරන අඛණ්ඩ, ද්‍රෝහී සහ නින්දිත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ද නැවත අවධාරණය කළේය.
-------------------------
Update - 02.20 PM
කටාර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
යානයේ ගමන් ගත් තවත් එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන්ව සිටින බව එන නිවේදනයේ සඳහන් වේ.
'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අදාළ හෙලිකොප්ටර් යානයේ පුද්ගලයින් හත්දෙනෙකු ගමන් කර ඇති බවය.
ක්‍රියාත්මක කළ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මගින් ඉන් හයදෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදහන් වූ අනෙක් පුද්ගලයා සොයා විශේෂ කණ්ඩායම් විසින් දැඩි සෝදිසි මෙහෙයුම් පවත්වන බව සඳහන්වේ.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
---------------
Update - 01.55 PM
ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටි දකුණු දිග නගරයක් වන ඩීමෝනා සහ ඒ අසල පිහිටි අරාඩ් නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අරාඩ් නගරයේ අවම වශයෙන් පුද්ගලයන් 116 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 7දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බවය.
එමෙන්ම ඩීමෝනාහි අවම වශයෙන් පුද්ගලයන් 64දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන බවද සඳහන්.
------------------
Update - 01.40 PM
ඊශ්‍රායල-ලෙබනන් දේශසීමා ආසන්නයේ පිහිටි ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් අඛණ්ඩව ද්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් දියත් කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
නිවේදන කිහිපයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවය.
--------------------
Update - 01.20 PM
ලෙබනනයේ සිට එල්ල කරන ලද ප්‍රහාරක් උතුරු ඊශ්‍රායලයේ මිස්ගාව් අම් ප්‍රදේශයේදී වාහනයකට පතිත වීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
--------------------
Update - 01.10 PM
ආරක්ෂක සහ සුරක්ෂිතතා විධිවිධාන සම්බන්ධයෙන් ඉරාන රජය සමඟ සම්බන්ධීකරණය පවත්වා ගන්නේ නම්, විදේශීය නෞකාවලට තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ හැකි බව අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ ඉරාන නියෝජිතයා පවසයි.
-------------------
Update - 12.50 PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරාන බලධාරීන් විසින් පනවා ඇති අන්තර්ජාල තහනම මේ වන විට සති හතරක්, එනම් පැය 500කට වඩා වැඩි කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
------------------
Update - 12.20 PM
තම රට අඛණ්ඩව මාරාන්තික ගුවන් ප්‍රහාරවලට ලක්වෙමින් පවතින පසුබිමක, ඉරානයෙන් "ඉවසීමක්" බලාපොරොත්තු වීම පලක් නැති කාර්යයක් බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසයි.
ඔහු සඳහන් කළේ, ඉරානයෙන් කිසියම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට පෙර, මෙම ප්‍රහාර ආරම්භ කළ ආක්‍රමණිකයන් ප්‍රථමයෙන් තම ප්‍රහාර නතර කළ යුතු බවය.
--------------------
Update - 11.55 AM
වත්මන් ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය අවසානයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් වුවහොත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික බෝම්බ ඉවත් කිරීම සඳහා ජපාන හමුදාව යෙදවීමට සලකා බැලිය හැකි බව ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි පවසයි.
--------------------
Update - 11.25 AM
ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය ඉලක්ක කරගනිමින් නව මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
මෙම ප්‍රහාර හඳුනා ගැනීමත් සමඟම ඊශ්‍රායලයේ මධ්‍යම කලාපයේ (Central Israel) සහ ජෙරුසලමේ පවා අනතුරු ඇඟවීමේ සීනු නාද වී තිබේ.
--------------------
Update - 10.55 AM
ඉරානය විසින් ඩීමෝනා සහ අරාඩ් ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු තුවාල ලැබූ පුද්ගලයින් 150ක් පමණ ප්‍රතිකාර සඳහා සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ තිබේ.
---------------------
Update - 10.15 AM
ඊශ්‍රායල මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන යාරිව් ඔපන්හයිමර් පවසන්නේ, ඉරානය සතුව අවි ආයුධ අවසන් වෙමින් පවතින බවට රජය ප්‍රකාශ කළද, දිගින් දිගටම එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේ රජය ඒ පිළිබඳව වගකීම දැරිය යුතු බවය.
X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයේ නවතම ප්‍රහාර හමුවේ රටේ මිසයිල නාශක පද්ධති අසාර්ථක වූ ආකාරය පිළිබඳව බලධාරීන් මහජනයාට සත්‍යය හෙළි නොකරන බවය.
----------------------
Update - 09.43 AM
ඉරානයට එරෙහි යුද්ධයේදී ඇමරිකානු උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් පාවොලෝ වොන් ෂිරාක් පවසා සිටියේ, ඉරාන නායකත්වය එතරම් පහසුවෙන් යටත් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.
"අපි දැන් සති කිහිපයක සිට ඉරානයට සාර්ථකව බෝම්බ හෙළමින් සිටිනවා. නමුත් එම ප්‍රහාර ඉරාන වැසියන්ව හෝ ඔවුන්ගේ නායකත්වය යටත් වීමට පොළඹවන මට්ටමකට තවමත් පත්ව නැහැ," ලෙසද ඔහු සඳහන් කළේය.
-------------------
Update - 09.00 AM
ටෙහෙරාන් අහසේ සැරිසැරූ ඩ්‍රෝන ප්‍රහාරක යානයක් හඳුනාගෙන එය බිම හෙළීමට සමත් වූ බව ඉරාන හමුදාව නිවේදනය කර තිබේ.
ඉරාන හමුදාව ප්‍රකාශ කළේ, මෙම යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට, සතුරාට අයත් විවිධ වර්ගයේ උසස් ඩ්‍රෝන ප්‍රහාරක යානා 127ක් රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඉලක්ක කර විනාශ කර ඇති බවය.
--------------
Update - 08.27 AM
සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඒ, න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය ඉල්ලා ඇති පසුබිමකය.
--------------
Update - 07.27 AM
පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ ඇති සියලු බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනතුරු ඇඟවීමට ඉරානය ප්‍රතිචාර දක්වා තිබේ.
එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ලෝක බීබීසී පුවත් සේවය සඳහන් කළේ, සිය රටේ බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා ඇති එක්සත් ජනපදයට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරාන රජය ප්‍රකාශ කර ඇති බවය.
--------------
Update - 07.13 AM
ඉරානය විසින් ඊශ්‍රායලයේ ආර්ඩ් සහ ඩිමෝනා යන නගර දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.
--------------
Update - 06.20 AM
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘතකිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව කාල සීමාවක් ලබාදී තිබේ.
ඔහු සිය 'Truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඉරාන වේලාවෙන් පෙ.ව. 3.14 සිට පැය 48ක කාලයක් ලබාදී ඇති බවය.
