යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු අල්ලස් දැලේ

යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු අල්ලස් දැලේ

March 22, 2026   05:11 pm

නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය 19 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ නගරයේ ඉදි කරන ලද " සිරිසඳ සෙවන" නිවාස සංකීර්ණයේ නිවාස 22 ක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් 22 ක් සඳහා 2014 වර්ෂයේ දී වෙන්කර දීමේ දුෂණ චෝදනාව මත මෙම විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, කොළඹ නගරය තුළ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද "නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය" යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබේ.