පොලීසියේ නම භාවිත කරමින් සිදුකරන ව්යාජ පණිවිඩයක් ගැන පැහැදිලි කිරීමක්
March 23, 2026 06:58 am
ශ්රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන පරිදි සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පලකිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
‘ප්රවේශම් වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබද ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු‘ යනුවෙන් සඳහන් කරමින් මහජනතාවට මඟ පෙන්වීමක් සිදු කරන ආකාරයට සකස් කර ඇති මෙම පණිවිඩය, කිසිසේත්ම ශ්රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.
ශ්රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම්, එය පොලිස් මාධ්ය කොට්ඨාසය මගින් සිදුකරනු ලබන අතර නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්ය වෙත නිවේදනයක් ලෙස එය නිකුත් කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම ඔවුන්ගේ නිල Facebook ගිණුම සහ YouTube නාලිකාව ඔස්සේ දෛනිකව නිල පණිවිඩ යාවත්කාලීන කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් මෙවැනි අසත්ය තොරතුරු ප්රචාරය කිරීම කිසියම් සැලසුම් සහගත ක්රියාවක් දැයි සොයා බැලීම සඳහා දැනටමත් අවශ්ය විමර්ශන ක්රියාත්මක බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එබැවින්, සමාජ මාධ්ය ඔස්සේ පැතිරෙන මෙවැනි පලකිරීම් සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
