ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට
March 23, 2026 05:34 pm
Update
ජනාධිපතිවරයාගේ මෙම නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් වසර කිහිපයකින් වාර්තා වූ ඉහළම ප්‍රතිශතයකින් පහත වැටී ඇත.
ඒ අනුව මේ වන විට, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 ක් දක්වාත්, අමෙරිකානු බොරතෙල් මිල ඩොලර් 85 ක් දක්වාත් සියයට 13 කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින ගැටුම් සමනය කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ, අද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනු, බ්‍රෙන්ට් බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී බැරලයක් ඩොලර් 99 ට වඩා අඩු අගයකට පැමිණ ඇති බව සඳහන් වේ.
අද උදෑසන එහි මිල ඩොලර් 114 ක් ලෙස සටහන්ව තිබුණි.
එසේම අමෙරිකානු WTI තෙල් මිල ද 8% කින් පහත වැටී බැරලයක් ඩොලර් 90 දක්වා අඩු වී ඇති බව පැවසේ.
සති අන්තයේ ඉරානයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, අද සිය ස්ථාවරය වෙනස් කරමින් කියා සිටියේ පසුගිය දින දෙක තුළ ඉරානය සමඟ "ඉතා යහපත් සහ ඵලදායී" සාකච්ඡා පැවැත්වූ බවය.
මේ හේතුවෙන් ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර දින පහකට කල් තබන ලෙස ඔහු අමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
