රන් ආභරණ ගන්න මිනියක් ගොඩදැමූ කනත්තේ සේවකයා

රන් ආභරණ ගන්න මිනියක් ගොඩදැමූ කනත්තේ සේවකයා

March 23, 2026   06:09 pm

සුසාන භූමියක් හාරා මෘත දේහයකට පළඳා තිබූ රන් භාණ්ඩ ලබාගැනීමට උත්සාහ දැරූ පුවතක් මොරටුව මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවේ.

සුසානය භාර මුරකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර මොරටුව පොලිසිය විසින් පළාගිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව රාවතාවත්ත ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 73ක කාන්තාවක් මියගොස් තිබුණේ පසුගිය 15 වෙනිදාය.

ඇගේ සත් දින දානය යෙදී තිබුණු ඊයේ (22) ඇගේ දියණිය,  රාවතාවත්ත "සුසන් අරම" වෙත යන්නේ සිය මවගේ සුසානයට ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වීම සඳහාය.

එලෙස පස්වරුවේ සුසානය වෙත ගිය දියණිය වික්ෂිප්ත වූයේ කිසියම් පුද්ගලයින් තිදෙනෙකු තම මවගේ සොහොන හාරමින් සිටුණු දැකීමෙනි.

දියණිය ඇතුළු එහි පැමිණි පිරිසගේ කෑගැසීමෙන් කලබලයට පත් සොහොන හාරමින් සිටි පිරිස තමන්ට වැඩ වැරදුණු බව පවසමින් සුසාන භූමියේ තාප්පයෙන් පැන පලාගොස් තිබේ.

සිදුවීම පිළිබඳව මියගිය කාන්තාවගේ දියණිය මොරටුව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔහු එම සුසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කරන බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සමග දේහයේ තිබූ රන් ආභරණ ගැනීම සඳහා මෙලෙස මිනී වල හෑරූ බවය.

ඊයේ (22) මෙම මිනී වළ හෑරීම සඳහා මුරකරු ඇතුළු මොරටුව මහ නගර සභාවේ සුසාන භූමියේ වලවල් හාරන පුද්ගලයින් දෙදෙනා මත්පැන් බෝතලයක් ගෙන එය පානය කිරීමෙන් පසු මෙම කටයුත්ත සිදු කර තිබේ.

ඔවුන් එම මිනී වළ හෑරීම සඳහා ඊයේ (22) දිනය යොදාගෙන ඇත්තේ මියගිය කාන්තාව මීට දින අටකට පෙර මියගියා යයි සිතා වැරදීමකින් බවයි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත.

කෙසේ වෙතත් දේහයට පළඳා තිබූ ආභරණ සියල්ල රන් ආලේපිත ව්‍යාජ ආභරණ බව දියණිය විසින් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පොලිසිය පැවසුවේ රන් ආභරණ ගැනීම සඳහාද නැතහොත් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මිනී පෙට්ටිය ගැනීම සඳහා මෙම සිදුවීම සිදු කළේද යන්න පරීක්ෂණයක් සිදු කරන බවය.
 මොවුන් මෙම ක්‍රියාව දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ගිය බවට පොලිසිය සැක කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලා ගිය සෙසු සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මකය.