බලශක්ති ආර්ථිකය සංවර්ධනයට විශේෂඥ කමිටුවක්
March 24, 2026 01:54 pm
බලශක්ති ආර්ථිකය සංවර්ධනයට ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන් ම පුරෝකථනය කළ අනාගත ප්රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව, ප්රමුඛ ක්ෂේත්රයක් වශයෙන් බලශක්ති ආර්ථිකය හඳුනාගනු ලැබ ඇති නමුත්, ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ පවතින දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වීමේ පසුබෑමක් දක්නට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා 2026 වර්ෂයේ අයවැය මඟින් අවධාරණය කළ බවද අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.
ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග සහ ප්‍රතිඵල ලබා දීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම පිණිස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු ව විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
විශේෂඥ කමිටුව පහතින්,
ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා - සභාපති
දුමින්ද හුලංගමුව මහතා
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන මහතා
ඩී.ජේ රාජකරුණා මහතා
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල මහතා
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම්
බලශක්ති අමාත්‍යාංශය ලේකම්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම්
කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ලේකම්
