ජූලි මාසයේදී නැවත බස් ගාස්තුව ඉහළ යයිද?

ජූලි මාසයේදී නැවත බස් ගාස්තුව ඉහළ යයිද?

March 24, 2026   02:26 pm

එළැඹෙන ජූලි මස ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය මත නැවත වරක් බස් ගාස්තු සංශෝධනය විය හැකිද යන්න කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු දැක්වීමක් සිදුකළේය.

ඒ අද (24) පැවැති කැබිනට් තීරණ දැම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ එළැඹෙන ජූලි මස 31 වැනි දින ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තිය මත නැවත වරක් බස් ගාස්තුවේ සංශෝධනයක් සිදුවිය හැකි යන්නය.

ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මැදපෙරදිග යුදමය තත්ත්වය අනුව යම් යම් තීරණ ගැනීමට සිදුවන බවත් ඒ අනුව අදාළ තීන්දු තීරණ අවශ්‍ය වේලාවන්හිදි ගැනීමට සිදුවන බවය.

නමුත් රජයක් ලෙස ජනතාවට සහන ලබා දෙමින් කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ යම් හෙයකින් ඉන්ධන මිල අඩු වුවහොත් එහි සහනය ජනතාවට ලබා දෙමින් ඉහළ ගොස් ඇති බස් ගාස්තුව නැවත පහළ දැමීමට හැකිවනු ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"මම හිතන්නේ නෑ එහෙම අවශ්‍යතාවයක් පැන නගී කියලා. මොකද මේ වෙලාවේදි මැදපෙරදිග යුදමය තත්ත්වයක් තිබෙනවා. එම තත්ත්වය නිසා ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුණා. අපි හිතනවා ඉදිරියේදී තිබෙන තත්ත්වය අනුව තමයි තීන්දු කරන්න වෙන්නේ ඒක. යුද්ධය තත්ත්වය වර්ධනය වෙලා සැපයුම් දාමය කඩා වැටුණොත් එහෙම තීන්දු ගන්න සිද්ධ වෙනවා. නමුත් අපි පුළුවන් තරම් ජනතාවට සහන ලබා දෙමින් තමයි කටයුතු කරන්නේ. නමුත් තෙල් මිල අඩුවෙලා රජයත් සහන ලබා දීලා යම් ප්‍රමාණයකට තෙල් මිල අඩු වුණාට පස්සේ යළිත් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්."