මිනිසා නැවතත් සඳට යන්න සූදානම් වෙයි
March 24, 2026 03:16 pm
මීට වසර 50කට පෙර සඳ වෙත ගමන් කිරීමෙන් පසුව, මානව වර්ගයා මෙතෙක් පෘථිවියේ සිට ගමන් නොකළ දුරක් ගමන් කරමින් අභ්‍යවකාශය ජය ගැනීමට සූදානමින් සිටි.
ඒ අනුව, තවත් සති කිහිපයකින් පෘථිවියේ සිට සැතපුම් ලක්ෂ 5කට වඩා වැඩි දුරක් ගෙවා සඳ වටා ගොස් නැවත පැමිණීමේ ඓතිහාසික මෙහෙයුමක් ආරම්භ වීමට නියමිතව ඇත.
නාසා ආයතනය විසින් සැලසුම් කර ඇති මෙම 'Artemis II' මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වනදා දියත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.
අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දින 10ක කාලයක් චන්ද්‍රයා වටා ගමන් කරමින් නවතම විද්‍යාත්මක දත්ත සහ ඡායාරූප රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටි.
මෙම ගමනේ ප්‍රධානතම අරමුණ වන්නේ ඉදිරියේදී සඳ මත මිනිසෙකු ගොඩබැස්සවීමට සහ එහි ස්ථිර පදනමක් පිහිටුවීමට අවශ්‍ය මාවත සකස් කිරීම බව සඳහන්වේ.
මෙය මිනිසා වෙනත් ග්‍රහලෝකයක ජීවත් වීමට ඉගෙන ගන්නා පළමු පියවර ලෙස සැලකේ.
මෙය අතිශය විස්මිත ගමනක් වුවද, එහි විශාල අවදානමක් ද පවතින බව පැවසේ.
අභ්‍යවකාශගාමීන් මෙතෙක් මිනිසුන් විසින් භාවිත නොකළ අතිනවීන යානයක ගමන් කිරීමට නියමිතය.
එසේම, කුඩා බස් රථයක ප්‍රමාණයේ ඉඩකඩක් සහිත යානයක් තුළ මෙම සිව්දෙනාට දින 10ක කාලයක් ඉතා අපහසුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.
මෙම අසීරු මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් නාසා බලධාරීන් පවසන්නේ, "මෙය පර්යේෂණාත්මක මෙහෙයුමක් වුවත්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අප සූදානම්" බවය.
මෙම ඓතිහාසික ගමන සඳහා නාසා ආයතනය විසින් මෙතෙක් නිපදවන ලද බලවත්ම රොකට්ටුව වන Space Launch System (SLS) භාවිත කෙරේ.
ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම දැවැන්ත රොකට්ටුව අභ්‍යවකාශයට විදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

