නුවරඑළියේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 60කගේ දත් දිරලා 

නුවරඑළියේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 60කගේ දත් දිරලා 

March 25, 2026   01:31 pm

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය දුර්වල මට්ටමක පවතින බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එච්. ඒ. එම්. ඉර්ෂාන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ පැවති මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රදර්ශනයකට එක්වෙමිනි.

වසර කීපයකට පෙර කරන ලද සායනික සමික්ෂණයක් මගින් ඉහත තත්ත්වය හඳුනාගෙන ඇති බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

අඹගමුව, මස්කෙළිය හා බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මෙම තත්ත්වය වඩාත් කනගාටුදායක බව ද ඔහු කීය.

ඒ අනුව මෙවර මුල් ළමාවිය සංවර්ධනය කරන මධ්‍යස්ථාන සහභාගී කර ගනිමින් ඔවුන් විසින්ම කරන ලද නිර්මාණ ඇතුළත් නිරෝගි මුඛ සෞඛ්‍යක් සඳහා යහපත් පුරුදු ඇතුළත් ප්‍රදර්ශනය පවත්වන ලද්දේ සිව්වන වතාවටය.

මෙලෙස දරුවන් හා දෙමාපියන් දැනුම්වත් කිරීම මගින් ඉහත අයහපත් මුඛ සෞඛ්‍ය මට්ටම සියයට 60 පමණ දක්වා අඩුකර ගැනීමට හැකිවි තිබෙන බවත් වෛද්‍ය එම්.එච්.ඒ.එම්. ඉර්ෂාන් මහතා වැඩිදුරටත් පැවසීය.