ඉරානයෙන් ඊශ්‍රායලයට නොනවතින ප්‍රහාර - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 26, 2026 05:44 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (26) දින 27ක් ගතවී ඇත.
----------------------------
Update - 10.12PM
අමෙරිකාව විසින් යුද්ධය අවසන් කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව “තනිපාර්ශවීය සහ අසාධාරණ” බවට ඉරාන ඉහළ රාජ්‍ය නිලධාරියෙකු පවසා තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.
----------------------------
Update - 9.26PM
දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර සිදුකරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ටෙලිග්‍රෑම් පණිවිඩයක් හරහා එම හමුදාව සඳහන් කර ඇත්තේ, “හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර සිදුකරමින් සිටිනවා” යනුවෙනි.
----------------------------
Update - 8.45PM
පෙබරවාරි 28 සිට ආරම්භ වූ ඉරානයට එරෙහි යුද මෙහෙයුම්වලදී එරට යුධ ශක්තිය දැඩි ලෙස විනාශ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු පවසන්නේ, අමෙරිකානු සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාර හරහා ඉරානයේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව “සම්පූර්ණයෙන්ම විනාශ” කර ඇති බවය.
එමෙන්ම, ඉරානය සතුව තිබූ මිසයිල් වලින් 90%කටත් වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බවද ඔහු කියා සිටියේය.
----------------------------
Update - 7.00PM
අමෙරිකාව සහ ඊශ්‍රායල විසින් ඉරානයට එරෙහිව සිදුකරන යුද ක්‍රියාමාර්ග ඉක්මනින් විසඳා නොගන්නේ නම් ලෝක සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට සවුදි අරාබියේ මුදල් අමාත්‍ය Mohammed al-Jadaan මහතා අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන් තෙල් සැපයුමට මෙම තත්ත්වය ගැටලුකාරී ලෙස බලපාන අතර, මැදපෙරදිග කලාපය තුළ පවතින ආරක්ෂක අර්බුදය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට ලක්විය හැකි බවද ඔහු සඳහන් කළේය.
----------------------------
Update - 6.15PM
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉහළ යමින් පවතින ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ජර්මනි රජය විසින් නව නීතිමය පියවර කිහිපයක් අනුමත කර ඇත.
ඒ අනුව, ඉදිරි කාලය තුළ එරට ඉන්ධන පිරවුම්හල්වලට දිනකට එක්වරක් පමණක්-දහවල් කාලයේදී-මිල ඉහළ දැමීමට පමණක් අවසර දීමට නියමිතය. කෙසේ වෙතත්, මිල පහළ දැමීම සඳහා කිසිදු සීමාවක් නොමැති බව සඳහන් වේ.
මෙම පියවර ගනු ලැබ ඇත්තේ ඉරාන සම්බන්ධ යුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ ජර්මනියේ ඉන්ධන මිලද සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසාය.
----------------------------
Update - 5.36PM
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් මැදපෙරදිග කලාපයේ පවතින ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා යුක්‍රේන සහාය ලබාදීමට සූදානම් බව පවසයි.
රුසියාව සමඟ පවතින යුද්ධයේදී ඉරාන ඩ්‍රෝන යානා පිළිබඳව ලබාගත් අත්දැකීම් උපයෝගී කරගනිමින් මැදපෙරදිග රටවලට සහාය වීමට යුක්‍රේනය සූදානම් බව ඔහු පවසයි.
සෞදි අරාබිය සහ කටාර් වැනි රටවලට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට සහාය වීම සඳහා යුක්‍රේන විශේෂඥ කණ්ඩායම් දැනටමත් එම රටවල රැඳී සිටින බව සෙලෙන්ස්කි පවසයි.
----------------------------
Update - 4.20PM
ඉරාන විප්ලවීය හමුදාවේ (IRGC) නාවික හමුදාපති අලිරේසා ටැංසිරි (Alireza Tangsiri) ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.
--------------------------------
Update - 4.17PM
තමන්ගේ මිත්‍ර රටක් වන ඉරානයට ඩ්‍රෝන යානා යැවීමට සූදානම් වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රුසියාව පවසයි.
------------------------
Update - 4.13PM
ගල්ෆ් රටවල් පවසන්නේ ඉරානයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ තමන් මෙතෙක් කිසිදු ප්‍රතිප්‍රහාරයක් එල්ල කර නොමැති බවත්, කලාපයේ සාමය ආරක්ෂා කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත්ය.
---------------------
Update - 4.08PM
ඇමරිකාව සහ ඉරානය අතර සාමය ඇති කිරීම සඳහා පණිවිඩ හුවමාරු කරමින් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බව පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් (Ishaq Dar) තහවුරු කර ඇත.
--------------------------
Update - 3.45PM
පිලිපිීනයේ ඉන්ධන මිල ඉහළ යාම නිසා එරට ජනතාව පා ගමනින් රැකියා සඳහා පිටත්ව යන වීඩියෝවක් මේ දිනවල 'X' සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
නමුත් විදෙස් මාධ්‍ය මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනු ලබන්නේ බලශක්ති අර්බුදයට විරෝධතාවයපාමින් මෙලෙස පා ගමනින් ඇවිද යන බවයි.
කෙසේ නමුත් මැදපෙරදිග පවතින යුද තත්ත්වය නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට එරෙහිව ෆිලිපීනයේ බස් සහ කුලී රථ රියදුරන් ඇතුළු ප්‍රවාහන සේවකයින් දැවැන්ත විරෝධතාවයක් ද ආරම්භ කර ඇත.
මේ අතර, මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ, ඉන්දියානු රජය සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ගෑස් ටැංකි වෙනුවට බට මාර්ගයෙන් නිවසටම එන ස්වාභාවික ගෑස් භාවිතා කරන ලෙසයි.
------------------------------------------
Update - 3.12PM
අමෙරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාත්මක කරන මෙහෙයුමේ 82 වන අදියර ආරම්භ කළ බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රකාශ කර ඇත.
----------------------------
Update - 1.54PM
ඉරාකය පුරා සිටින අමෙරිකානු වැසියන් සහ අමෙරිකාවට සම්බන්ධ ස්ථාන ඉලක්ක කරගනිමින් ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් දරුණු ප්‍රහාර එල්ල කරන බැවින්, වහාම ආරක්ෂිතව ඉවත් වන ලෙස අමෙරිකාව සිය පුරවැසියන්ට දන්වා ඇත.
----------------------------
Update - 12.39PM
අබුඩාබි නගරයට එල්ල වූ මිසයිලයක් අහසේදීම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇති අතර, එහි සුන්බුන් පොළොවට පතිත වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
---------------------------------
Update - 12.25PM
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගුවන් කලාප වසා තැබීම නිසා ඕමාන් ජාතික ගුවන් සේවය සිය ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇත.
-----------------------------------
Update - 12.14PM
ඊශ්‍රායලයේ ප්‍රධානතම නගර වන ටෙල් අවිව් සහ ජෙරුසලම ඇතුළු ප්‍රදේශ රැසක අනතුරු ඇඟවීමේ සයිරන් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
-----------------------
Update - 11.15AM
පසුගිය පැය ඇතුළත ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර වට දෙකක් එල්ල කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඊශ්‍රායල බලධාරීන් එරට වැසියන්ට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බව සඳහන් වෙයි.
----------------------------------
Update - 10.49AM
ඉරානය දෙසින් තම රට දෙසට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
-----------------------------
Update - 9.48AM
ඉරානය සමඟ පවතින යුද්ධය නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම සඳහා ජපානය සිය හදිසි තෙල් සංචිත මුදාහැරීමට පියවර ගෙන ඇත.
--------------------------
Update - 9.35AM
කුවේට් රජයට එරෙහිව කුමන්ත්‍රණය කළ බව කියන ත්‍රස්ත කල්ලි සාමාජිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
------------------------
Update - 9.27AM
ඉරානයට එල්ල වන ප්‍රහාර ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත්, එය වහාම නැවැත්විය යුතු බවත් ජර්මනිය පවසයි.
-------------------------
Update - 8.30AM
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
----------------------------
Update - 8.00AM
ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය ගුවන් මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ කරයි.
------------------------------
Update - 7.30AM
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය 1%ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී ඇති අතර එය ද 1.10%ක වැඩිවීමක් වේ.
මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස දැක්වෙයි.
ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
.......................
Update - 6.28AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ, මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවය.
ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවය.
අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
.......................
Update - 6.00AM
ඉරාන හමුදාව අඛණ්ඩව අද දිනය තුළත් සිය මෙහෙයුම් සිදුකරමින් සිටී.
ඊශ්‍රායලයේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන මෙන්ම ජෝර්දානයේ අල් අස්රාක් ගුවන් කඳවුර, බහරේනයේ ෂෙයික් ඊසා කඳවුර සහ කුවේටයේ අලි අල් සාලෙම් සහ අරිෆ්ජාන් කඳවුරු ඇතුළු අමෙරිකානු හමුදා රැඳීසිටින මැද පෙරදිග කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.
