සුරේෂ් සලේ ගැන අධිකරණය CIDයට දුන් නියෝගය - සම්පූර්ණ විස්තරය මෙන්න
March 26, 2026 07:26 pm
රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අප්‍රේල් 22 වැනිදා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මෙහස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) නියෝග කළේය.
2018 වසරේ නොවැම්බර් 29 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම පිළිබඳව වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.
එහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ තෙවැනි සැකකාර සුරේෂ් සලේ අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්නය.
සැකකරු රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බැවින් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව විමර්ශන නිලධාරීන් පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ.
"තෙවැනි සැකකරු මේවෙද්දි හුදෙක් රැඳවුම් භාරයේ සිටින තැනැත්තෙක් නොවෙයි. ඔහු අපරාධ නඩුවක සැකකාරයෙක් ලෙස නම් කළ තැනැත්තෙක්. ඒ නිසා මීළඟ දිනයේ අනිවාර්යයෙන්ම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා."
තවදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ පෙර නඩු වාරයට පසුදින නඩුවේ සාක්ෂිකරුවෙකුගේ නිවසට යුද හමුදා බුද්ධි නිලධාරියෙකු යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරඇති බවය.
"ස්වාමිනි, සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර යුද හමුදා බුද්ධි අංශය මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තොරතුරුකරුවෙකු හරහා මුස්ලිම් අන්තවාදීන් සිව්දෙනෙකුට කතෝලික පල්ලිපෙන්වූ බවට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පසුගිය නඩුවාරයේ අප අනාවරණ කළා. පසුදින යුද හමුදා බුද්ධි නිලධාරියෙකු එම සාක්ෂිකරුගේ නිවසට ගිහින් තියෙනවා. දැන් ඔහු නිවස අත්හැර ගිහින්. ඒ හරහා සාක්ෂිකරුට යම් බලපෑමක් වෙලා තියෙනවා"
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු දැක්වුවේය.
"ස්වාමිනි, මේ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායම් සිදුකළ විමර්ශනවලදී පවා මාගේ සේවාදායකයාට එරෙහිව කිසිදු කරුණක් අනාවරණය වී නැහැ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ හෝ මගේ සේවාදායකයාට එරෙහිව නිර්දේශ නැහැ. සැකකාරයෝ 25කට එරෙහිව අධිචෝදනා 23,000ක් තියෙන කොළඹ මහාධිකරණ නඩුවේවත් මගේ සේවාදායකයාගේ නම නැහැ. එහෙම තියෙද්දි මේ ප්‍රහාරය ගැනම විමර්ශනය කළ ජයකි ද අල්විස් වාර්තාවෙන් නඩු පවරන්න කියලා නියෝග කරපු වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ කොන්ත්‍රාත් පදනමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන ශානි අබේසේකර යටතේ සිදුකරන නඩුවකට මගේ සේවාදායකයාට චෝදනා ගොනුකරලා තියෙනවා."
මෙහිදී සැකකාර සුරේෂ් සලේට එරෙහිව දැනට ක්‍රියාත්මක විමර්ශනය පක්ෂග්රාහීව අඩුපාඩු රැසක් සහිතව සිදුවෙමින් පවතින බවටද නීතිඥවරයා විවෘත අධිකරණයේ චෝදනා කළේය.
"ස්වාමිනි, මේ සිදුකෙරෙන විමර්ශනයට පාදකවෙලා තියෙන්නේ චැනල් 4 වාර්තා වැඩසටහන. එහෙම තියෙද්දිත් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ නඩු ගොනුවේ නැහැ. ඒ වාර්තාවේ තියෙනවා දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබමින් ඉන්න අසාද් මව්ලානා නමැත්තා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ සිදුකරන ලද ප්‍රකාශය මෙරට පත්කරන ලද කමිටුව විසින් ඉල්ලපුවාම එය දෙන්න බැහැ කිව්වා කියලා. මොකද අසාද් මව්ලානා ඒ ප්‍රකාශය දෙනවාට අකමැත්ත පළකරලා තියෙනවා. එහෙම ප්‍රකාශය දෙනවාටත් අකමැති පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් මත පදනම්වෙලා කොහොමද ස්වාමිනි මේ විමර්ශනය කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයෙක් වුණු රෝහාන් ප්‍රෙමරත්න සාරා ජෙස්මින්ගේ DNA වාර්තා සිදුකිරීම සම්බන්ධයෙන් මේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයේ මගේ සේවාදායකයාට වාසි සහගත කරුණු ඇතුළත් වන බැවින් විමර්ශන නිලධාරීන් එය අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. ස්වාමිනි, මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම පක්ෂග්රාහිව සිදුකරන්නේ. ප්‍රධාන විමර්ශන නිලධාරියා වෙච්ච අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්යක්ෂවරයා ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන්නු දිවුරුම් ප්‍රකාශයකින් පිළිගෙන තිබෙනවා ඔහු එම තනතුරට ඒමට මාස 02කට කළින් දේශපාලනය කළා කියලා. ස්වාමිනි ස්වාභාවික යුක්තියේ මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ විමර්ශනය තමන්ම නොකළ යුතුයි කියන එක. ඉතිං ස්වාමිනි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ විමර්ශනය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂවරයා යටතේ නොමැති වෙනත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට යොමු කරන්න කියලා. "
කෙසේවෙතත් විත්තියේ නීතිඥවරයා සිදුකළ මෙම කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි විවෘත අධිකරණයේ ප්‍රතිචාර දැක්වුවේය.
"ස්වාමිනි, විත්තිය කියන විදිහට මේ විමර්ශනය ශානි අබේසේකර මහත්තයාගෙවත් වෙන කාගෙවත් වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ තුන්වන සැකකරුව අත්අඩංගුවට ගත්තේ ඔහුගේ සැකකාරභාවය පිළිබඳ පැහැදිලිව ප්‍රමාණවත් කරුණු තියෙන නිසයි. හැමදේම විවෘත අධිකරණයේ කියන්න බැරිවුනාට අපි මේ වෙද්දිත් සාක්ෂිකරුවන් 05 දෙනෙකුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරලා ප්‍රකාශ ලබා දී තිබෙනවා. මේ විමර්ශනය සිදුවෙන්නේ විශාල සිද්ධින් දාමයක සම්බන්ධතාවයන් ගැන. ඒ සිදුවීම් සියල්ලට යුද්ධ හමුදා බුද්ධි අංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතා තිබුණාද කියලා විමර්ශනය වෙනවා."
සියලු කරුණු සලකා බැලීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ නියෝග නිකුත් කළේය.
"රැඳවුම්භාරයේ සිටින තුන්වැනි සැකකරුගෙන් නීතිඥවරයා උපදෙස් ලබාගන්නා අවස්ථාවේ එම සන්නිවේදනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇහුම්කන් නොදිය යුතුයි. චැනල් 4 වැඩසටහනේ අදාළ ප්‍රකාශ සිදුකරන තැනැත්තාගෙන් ප්‍රකාශ ලබාගෙන නැහැ කියලා විත්තිය චෝදනා කරනවා. එම ප්‍රකාශ ලබාගැනීම අතිශයින් වැදගත්. වහාම ඊට උත්සාහ කරන්න. ඒ වගේම විමර්ශකයා මාරු කරන්න කියන එක බරපතළ ඉල්ලීමක්. මේ විමර්ශනය මුලසිටම කරලා තියෙන්නේ ඒ විමර්ශකයා. ඔහුගෙන් විමර්ශනය ඉවත්කිරීම හරහා යම් වරදක් වුවහොත් එය නිවැරදි කරන්න බැහැ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශකයා ඉවත්කරන්න කියන ඉල්ලීම මෙම අවස්ථාවේ ඉවතදමනවා. "
වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව අප්‍රේල් 22 යළි කැඳවීමට නියමිතයි.
