පළාත් කිහිපයක උණුසුම ''අවධානය යොමු කළ යුතු'' මට්ටමක

පළාත් කිහිපයක උණුසුම ''අවධානය යොමු කළ යුතු'' මට්ටමක

March 26, 2026   08:26 pm

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (27) දිනයේ ''අවධානය යොමුකළ යුතු'' මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ අනුව සෞඛ්‍යය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කරගැනීමට සැලකිලිමත්ව කටයුතු කරන ලෙසය.

අධික රස්නය මේ දවස්වල කාටත් හිසරදයකි.

වැසි නොමැති කාලගුණ තත්ත්වය එක්ක මේ දවස්වල තියෙන පෑවිල්ල නිසා ජලාශවල ජල මට්ටම් පවා අඩුවෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළ යුතු'' මට්ටමක පවතී.

ඒ සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර මට්ටමය.

මෙය සෙල්සියස් අංශක 46 ත් 52 ත් අතර මට්ටමට ඉහළ ගියොත් එය ''වැඩි අවධානය යොමුකළ යුතු'' තත්ත්වයක් ලෙස සැලකේ.

සෙල්සියස් අංශක 52 පසුකළොත් ''අනතුරුදායක'' මට්ටමක් ලෙසයි දැක්වෙයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව , දකුණ හා වයඹ , උතුරු හා උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඉදිරි පැය 24 තුළ උණුසුම ''අවධානය යොමු කළ යුතු'' මට්ටමක පවතින බව සඳහන්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රත්නපුරින් සෙල්සියස් අංශක 36.5ක් කුරුණෑගල සහ පුත්තලමෙන් සෙල්සියස් අංශක 36ක්, මත්තල සෙල්සියස් අංශක 35ක් ලෙස අද ඉහළ උණුසුමක් වාර්තාවිය.

කොළඹ නගරයේ උණුසුම අද දහවල් වාර්තාවුණේ සෙල්සියස් අංශක 32.5ක් ලෙසය.

උණුසුම් කාලගුණය හමුවේ ප්‍රදේශ රැසකම ජනතාව මේ දිනවල සිය ජීවනෝපාය සහ එදිනෙදා කටයුතු සිදුකිරීමේදී අසීරුතාවට පත්ව සිටී. 

ජනතාව මෙන්ම සතා සිව්පාවුන්ද උණුසුම් කාලගුණයේ බලපෑමට ලක්ව ඇති අයුරු නිරීක්ෂණය කළ හැකියි.

ඒ අතර උණුසුම් කාලගුණය හමුවේ ජලාශවල ජල මට්ටම්ද මේ වන විට පහළයමින් පවතී.

මේ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් වන ලෙසද කුඩා ළමයින් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසයි උපදෙස් දී ඇත.

ඊට අමතරව අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් මේ දිනවල භාවිත කරන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.