රු. 4,000ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
March 26, 2026 09:08 pm
රුපියල් 4,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකු විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පැමිණිලිකරු විසින් පදවන යතුරුපැදියෙන් ඔහුගේ මව වැටී සිදුවූ අනතුරක් සම්බන්ධව 119 අංකයට පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා, මවගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර සිටීමට හා භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.
එහිදී ඔහු රු.5,000ක මුදලක් ඉල්ලා, ඉන් රු.1,000ක මුදලක් ලබා ගෙන රියදුරු බලපත්‍රය ලබාදී, මවගෙන් නැවත ප්‍රකාශයක් ලබා නොගෙන 119 පැමිණිල්ල ඉවත්කර නීති මඟින් කටයුතු නොකර සිටීමට ඉතිරි රු. 4,000ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇත.
එම මුදල අද පෙ.ව 10.12ට පමණ අක්කරපත්තුව රෝහල තුළදී ලබාගැනීමේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
