මහ පාරේ සෙල්ලම් දාන රියදුරන්ට වැඩ වැරදෙන හැටි

මහ පාරේ සෙල්ලම් දාන රියදුරන්ට වැඩ වැරදෙන හැටි

March 27, 2026   04:59 pm

රථ වාහන ධාවනයේදී ඇතැම් රියදුරන් විසින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ වන විටත් නීතිවිරෝධී ආකාරයෙන් රිය පැදවීම්, ප්‍රධාන මාර්ගයන් හී තරගයට සහ විනෝදය උදෙසා නීතිවිරෝධීව සිදුකරන සිදුවීම් පොලීසිය වෙත වාර්තා වී ඇති බවත් එම තොරතුරු සියල්ල සඳහා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවය.

එවැනි සිදුවීම් සම්බන්ධව මහජනතාව විසින් මේ වන විට පොලීසිය වෙත තොරතුරු ලබා දෙමින් සිටින බවත් පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම සියලු තොරතුරු සඳහා විමර්ශන ආරම්භ කර අදාළ නීතිමය කටයුතු පොලීසිය විසින් සිදුකරනු ලබන බවත්ය.

මේ හේතුවෙන් මාර්ගයේ රිය ධාවනයේදී නීතියට අනුව සෑම විටම කටයුතු කරන ලෙස තමන් සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ නීති විරෝධී සිදුවීම් ඇතුළත් තොරතුරු පසුව ලැබුණද නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය ඇති බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා,

"විශේෂයෙන් කියන්න ඕන පණිවිඩේ තමයි ශ්‍රී ලංකා පොලීසිය හැටියට මහජනතාව සත්‍ය තොරතුරු වාර්තා කිරීම් සම්බන්ධයෙන් අපි ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නොහික්මුණු රියදුරන් සම්බන්ධව අපිට ඕනෑම අවස්ථාවක දැනුවත් කරන්න. ඒ සම්බන්ධව අපිට තිබෙන තාක්ෂණික දේවල් භාවිතා කරලා අපි ක්‍රියාමාර්ග ගන්නවා. අපිට දැනට වාර්තා කරලා තිබෙන සියලුම දේවල්වලට අපි ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා බස් රියදුරන්ගෙන්, තරුණයන්ගෙන්, සියලුම රියදුරන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා නීතිගරුකව රිය පදවන්න කියලා. කුමණ ආකාරයෙන් හෝ අධික වේගයෙන් ගිහින්, තරගෙට ගිහින් නොහික්මුණු ආකාරයෙන් පාරේ සෙල්ලම් දදා ගියොත්, රෝද දෙකෙන් යන්න ඕන එක තනි රෝදෙන් ගිහින්, මේවගේ ඒවාට කිසිම සමාවක් නෑ. නීතිය පස්සේ හරි අපි ක්‍රියාත්මක කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ තොරතුර පමණයි. එදිනම ඕනේ නෑ පසුව හරි තොරතුර වාර්තා වුණොත් විමර්ශන ආරම්භ කරලා අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා."