සම පැහැපත් කරන ආලේපනවල ප්‍රමිතිය පරීක්ෂා කරන්න නව තාක්ෂණය

සම පැහැපත් කරන ආලේපනවල ප්‍රමිතිය පරීක්ෂා කරන්න නව තාක්ෂණය

March 27, 2026   09:33 pm

මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කර තිබේ.

එම යන්ත්‍ර සංකේතාත්මකව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත භාරදීම අද(27) වෙළෙඳ අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

ඒ සඳහා විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගී වී ඇත.

වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපන ඇතුළු විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා කර බැලීමට මෙම ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර දෙක හරහා හැකියාව ලැබේ. 

පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දක්වා සිදුකර තිබෙන කාර්යභාරය ඇගයීමට ලක් කරමින් තවදුරටත් එම කටයුතු පහසු හා කඩිනම් කිරීම සඳහා මෙම යන්ත්‍ර දෙක එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් එකක් වුවද, වෙළෙඳපොළේ ඇති ඇතැම් නිෂ්පාදනවල එම අගය ඉක්මවා පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර සිදු කළ පරීක්ෂාවන්හිදී හෙළි වී තිබේ.

පාරිභෝගික සුරක්ෂිතතාව සඳහා නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම රූපලාවණ්‍ය නිෂ්පාදනවල රසදිය ප්‍රමාණය පරීක්ෂා කිරීමට මෙම ජංගම යන්ත්‍ර යොදා ගැනීමට අපේක්ෂිතය.

අධික ලෙස රසදිය අඩංගු ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර ආලේපන නිසා සිදුවන සෞඛ්‍ය අවදානමෙන් පාරිභෝගිකයා රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි.

මේ හරහා සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදු කිරීමට විනාඩි 05 - 10 වැනි ඉතා කෙටි කාලයක් ගත වන අතර අතිරේක රසායනික ද්‍රව්‍ය හෝ වායු වර්ග අවශ්‍ය නොවන බැවින් පරීක්ෂණයක් සඳහා වැයවන පිරිවැය ද මෙහි අඩුවීම විශේෂත්වයකි.

මෙම යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර ඉදිරියේදී දිවයින පුරා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.