බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ බෝධීන් වහන්සේ ඔස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට
March 29, 2026 04:15 pm
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි බෝධි ධම්ම විහාරයේ රෝපණය කරඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ, අතිශය වැදගත්කමකින් යුතු වෘක්ෂයක් ලෙස ඔස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට එක්කර තිබේ.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව උත්සවශ්‍රීයෙන් මෙම බෝධීන් වහන්සේ, වසර දෙකකට පෙර බෝධි ධම්ම විහාරයේ රෝපණය කරනු ලැබීය.
බෝධීන් වහන්සේ ඔස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට එක්කිරීමේ උත්සවයට බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරාධිපති, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්රමුඛ සංඝයා වහන්සේලා විශාල පිරිසක් එක්වූහ.
ඊට අමතරව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන්, එම ප්‍රාන්තයේ පාර්ලිමේන්තු කථානායක මාරී එඩ්වඩ්ස්, ඔස්ට්‍රේලියානු ජාතික උරැම කමිටුවේ සභාපතිනී කොලට් බ්‍රේනන්, බෙන්ඩිගෝ නගරාධිපති තෝමස් ප්‍රින්ස් යන අයද සහභාගි වූහ.
එමෙන්ම ශ්‍රී ලාංකික සහ අනෙකුත් ජනවර්ග නියෝජනය කරමින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව තිබේ.
මෙයට සමගාමීව මෙම විහාරයේ යෝජිත ධර්ම ශාලාව හා සර්වඥ ධාතු මන්දිරය වෙනුවෙන් මුල්ගල් තැබීමේ පිංකමද මෙහිදී සිදු කෙරුණි.
