රජයට මොකක්ද තියෙන සැලැස්ම? - සජිත් ප්‍රශ්න කරයි
March 29, 2026 06:35 pm
මැදපෙරදිග උද්ගත වෙමින් පවතින වාතාවරණය හමුවේ ඉදිරියේදී ආසියානු කලාපයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ බාධා ඇති විය හැකි බැවින් මෙරට උද්ධමනය අනපේක්ෂිත ලෙස ඉහළ යනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
අද (29) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ ඔහු ඊට විසඳුම් සැලැස්මක් ඇත්දැයි රජයෙන් ප්‍රශ්න කළේය.
"මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කරනවා. මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතළ ලෙස පැතිකඩ ගණනාවකින් බලපානවා බවා. බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය හූති කණ්ඩායම් යුද පෙරමුණට පැමිණීම නිසා බලපෑම් රැසක් එල්ල වී අප රටට සෘජු බලපෑම් සිදුවෙනවා. මේ නිසා තෙල් මිල ඉහළ යාම මුහුදෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ප්‍රමාද සිදුවීමත් විය හැකියි. ප්‍රවාහන ගාස්තු විදුලි ගාස්තු ඉහළ යනවා. අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩි වෙනවා. එමෙන්ම ආනයන වියදම් ද වැඩි වී අපනයන ලාභ ආන්තික පවා අඩු වී යා හැකියි. අපේ භාණ්ඩ මිල දී ගන්නා අය වෙනත් සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනීම නිසා තරගකාරීත්වය නිසා අවදානම් ඇති වෙනවා.
රුපියල අවප්‍රමාණය වීමද සිදුවිය හැකියි. අත්‍යාවශ්‍ය ආහාරවල මිල භාණ්ඩ මිල බෙහෙත් පොහොර ආදියේද හිඟයක් මතුව සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකියි.
යුරෝපය ආසියාව බද්ධ කරන වෙළෙඳ මාර්ගයක් වන මෙය තෙල් බැරල් මිලියන 6-9ත් LNG 8%ක් මේ හරහා යන බවත් වාර්ෂිකව මුුහුදු නැව් ගොඩක් පවා යන බවත් මේ නිසා තෙල් හිඟයක් ඇතිව තෙල් මිල ඉහළ යා හැකි බවත් 30% පමණ මූලික ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී සෑම ක්ෂේත්රයකටම බලපානවා.
නාවුක යාත්‍රා ප්‍රමාණාත්මකව අඩු වීම නිසා සැපයුම් ජාලවලට ද බලපෑම් විය හැකියි.
සාම කලාපයක් වන ඉන්දීය සාගරය යුද කලාපයක් විය හැකියි. මේ නිසා විවිධ රටවල බලපෑම් එල්ල විය හැකි බවත් කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් ඉල්ලා තිබිම බරපතළ ගැටලුවක්.
මේ හූති ප්‍රහාර හරහා අප රටට වැඩි පිරිවැයක් ඉදිරියේ දී දැරීමට සිදුවන නිසා රජය මේ ගැන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වන බලපෑමට රජයට විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයට මේවාට උත්තර තිබිය යුතු බවත් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් තිබිය යුතුයි." බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
