රජයේ ආයුර්වේද සංස්ථාවේ නම ව්‍යාජව යොදාගෙන ඖෂධ අලෙවි කළ ජාවාරමක් වටලයි

රජයේ ආයුර්වේද සංස්ථාවේ නම ව්‍යාජව යොදාගෙන ඖෂධ අලෙවි කළ ජාවාරමක් වටලයි

March 30, 2026   07:18 am

රජයේ ආයුර්වේද සංස්ථාවේ නාමය ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් සිදුකළ පැමිණිල්ලක් මත  පසුගිය 26 වැනිදා මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අදාළ ආයතනය විසින් මහා පරිමාණව මෙම වංචාව සිදුකර ඇති බවටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අනාවරණය වී ඇත.

මෙලෙස වටලා ඇත්තේ මාවනැල්ල - හිඟුල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක් වන අතර එහිදී එම ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ පාරිභෝගික නිලධාරීන් භාරයටද ගෙන තිබුණි.

සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ ඖෂධ සංස්ථාවේ නම සහ රාජ්‍ය ලාංඡනය වංචාකාරී ලෙස යොදා ගනිමින් ව්‍යාජ නිෂ්පාදනයක් සැබෑ සංස්ථා නිෂ්පාදනයක් ලෙස පෙන්වා ඔවුන් විසින් අලෙවි කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධව අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.