මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 31, 2026   05:28 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (31) දින 32ක් ගතවී ඇත.

-------------------------

Update - 11.15AM

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනිගත් කුවේට් තෙල් නැවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදු වී නොමැති බව ඩුබායි බලධාරීන් තහවුරු කර තිබේ.

-----------------------------

Update - 11.07AM

ඉරානයේ ටෙහෙරාන් අගනුවර මධ්‍යයේ පිහිටි රජයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රහාර මාලාවක් එල්ල කර අවසන් කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

---------------------------

Update - 11.01AM

යුද්ධය හේතුවෙන් මැදපෙරදිගින් ලැබෙන තෙල් සහ ගෑස් සැපයුම අඩාල වී ඇති පසුබිමක, බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ඉන්දුනීසියාව සමඟ සමීපව කටයුතු කරන බව ජපාන අගමැතිනී සානායි ටකායිචි පවසා තිබේ.

------------------------------

Update - 10.47AM

ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර බටහිර මායිමේ පිහිටි වර්ධාවර්ඩ් (Vardavard) ප්‍රදේශයේ පදිංචිකරුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය හතර ඇතුළත එම ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින්, නිවෙස්වලින් පිටතට නොයන ලෙස සහ එම ප්‍රදේශයට ඇතුළු නොවී සිටින ලෙස දන්වා ඇත.

--------------------------------

Update - 10.12AM

ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියකට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

---------------------------
 

Update - 09.36AM

එක්සත් ජාතීන්ගේ සාම සාධක කණ්ඩායමට අයත් රථ පෙළකට සහ කඳවුරකට එල්ල වූ ප්‍රහාරවලින් ඉන්දුනීසියානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.

----------------------------

Update - 08.30AM

ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

---------------------

Update - 08.15AM

මැදපෙරදිග ප්‍රධාන නිෂ්පාදකයින් දෙදෙනෙකුට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පසුව ඇලුමිනියම් මිල වසර හතරකට පමණ ඉහළම අගයට පැමිණ තිබේ.

විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් ඊයේ (30) London Metal Exchangeහිදී 3% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3,401ක් ලෙස සටහන්ව තිබුණි. 

----------------------

Update - 08.00AM

ඉරානය විසින් තවත් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

-------------

Update - 07.50AM

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් විය හැකි කාලය පිළිබඳව කාලසටහනක් ඉදිරිපත් කිරීමට තමන් අකමැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

යුද්ධය නිසැකවම එහි අඩක් පසු කර ඇති බවත්, ඉරාන ඉස්ලාමීය ජනරජය අවසානයේදී අභ්‍යන්තරව බිඳ වැටෙනු ඇති බවත් නෙතන්යාහු වැඩිදුරටත් පවසා ඇත.
--------------

Update - 07.10AM

කුවේට් තෙල් නෞකාවේ හටගත් ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකියාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

---------------

Update - 06.30AM

ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය පවසයි.

මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර, ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටින බවය.

-------------

Update - 05.50AM

ඩුබායි වරායේදී තම තෙල් නැවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළ බව කුවේටය ප්‍රකාශ කිරීමත් සමඟ බොරතෙල් මිල සියයට 3.4 කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 106 ඉක්මවා ගොස් ඇත.

2022 වසරෙන් පසු ප්‍රථම වතාවට පසුගිය සඳුදා අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.

--------------

Update - 05.30AM

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී ඇත.

ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙකු මෙම සැලසුම අනුමත කළ බව තහවුරු කර ඇති අතර, ඒ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට අමතරව, ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙකුත් රටවලට ද මෙම තහනම බලපැවැත්වෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානය ඕමානය සමඟ සහයෝගයෙන් මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කරන බවය.

ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ සාමාන්‍යයෙන් ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම වැදගත් නාවික මාර්ගය හරහා ප්‍රවාහනය කෙරේ. 

කෙසේ වෙතත්, නාවික බුද්ධි තොරතුරු ආයතනයක් වන Kplerට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට මෙම මාර්ගය හරහා සිදුවන ගමනාගමනය 95%කින් පමණ පහත වැටී ඇත.