ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි – පීට් හෙග්සෙත්
March 31, 2026 07:09 pm
ඉරානයට සහාය වීම සඳහා චීනය සහ රුසියාව දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම්වලට එරෙහිව ක්‍රියා කරන බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.
අද (31) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙග්සෙත් මහතා සඳහන් කළේ මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවය.
විශේෂයෙන්ම ඉරාන සන්නද්ධ හමුදාවලින් සෙබළුන් විශාල වශයෙන් පලායෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
රුසියාව සහ චීනය ඉරානයට උදව් කරන ආකාරය පිළිබඳව අමෙරිකාව නිවැරදිව දන්නා බවත්, ඒ සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය තැන්වලදී ඔවුන්ට සෘජුව මුහුණ දෙන බවත් ඔහු පැවසීය.
බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් හෙග්සෙත් කියා සිටියේ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාවේ මානසිකත්වය බිඳ වැටී ඇති බවය.
මේ නිසා සෙබළුන් හමුදාව හැරයාම සහ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කලකිරීමක් හටගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
"අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ එකම මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි," යනුවෙන් ඔහු පැවසීය.
පසුගිය සෙනසුරාදා තමන් මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වූ බවත්, එහිදී ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වල ප්‍රගතිය සෘජුවම නිරීක්ෂණය කළ බවත් හෙග්සෙත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
