මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
April 2, 2026 05:40 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත.
.......................................
UPDATE - 08.55 AM
ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු, කලාපීය නොසන්සුන්තාවය සමනය කරන ලෙස ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඉල්ලීමක් කර තිබේ.
කැන්බරා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් අගමැතිවරයා අවධාරණය කළේ ඉරානයට එරෙහිව අමෙරිකාව අපේක්ෂා කළ මූලික අරමුණු බොහොමයක් මේ වන විටත් සාක්ෂාත් කරගෙන ඇති බැවින් තවදුරටත් සටන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
-----------------------------
UPDATE - 08.30 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ක මට්ටමේ පැවතුණ නමුත් කතාව අතරතුර මිල උච්චාවචනය වූ අතර, අවසානයේදී එය 4% කින් පමණ ඉහළ ගොස් මේ වන විට බැරලයක් ඩොලර් 105.38ක් දක්වා ඉහළ ගොස් තිබේ.
---------------------------------
UPDATE - 08.00 AM
ලෙබනනයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටි ඉන්දුනීසියානු භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකමතිකව හෙළා දැක තිබේ.
සාමාජික රටවල් 15 කින් සමන්විත ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වන්නේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායට අයත් භටයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ එල්ල වූ මාරාන්තික පිපිරීම් ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මණ්ඩලය සිය දැඩි කනගාටුව පළ කරන බවය.
--------------------
UPDATE - 07.45 AM
ඉරානය විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශ ඉලක්ක එල්ල කළ මිසයිල ඊශ්‍රායල ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කර ඇති බවත්, එමගින් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති බවත් ඊශ්‍රායලය පවසයි.
මේ අතර, ඉරානයේ 'තස්නිම්' (Tasnim) පුවත් ඒජන්සිය සඳහන් කළේ මෙම නවතම මිසයිල ප්‍රහාර මාලාව ආරම්භ වූයේ "ඉරානයේ මිසයිල හැකියාවන් තමන් විනාශ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව" බවයි.
--------------------
UPDATE - 07.15 AM
විදේශීය ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව දන්වමින් බහරේනය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද වීමත් සමඟ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනතාව වෙත හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය මගින්, ජනතාව කලබලයට පත් නොවී සන්සුන්ව කටයුතු කරන ලෙසත්, වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානය වෙත යන ලෙසත් අමාත්‍යාංශය දැනුම් දෙයි.
--------------------------------
UPDATE - 06.50 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
---------------------------------
UPDATE - 06.30 AM
ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජාතිය ඇමතීම සිදුකරයි.
අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00ට අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ජාතිය ඇමතීමට ආරම්භ කළේය.
----------------------------------
UPDATE - 05.55 AM
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අද (02) උදෑසන ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ලද සිය පළමු ප්‍රහාර මාලාව පිළිබඳව නිවේදනය කර තිබේ.
ලෙබනන දේශසීමාවේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ දකුණු ලෙබනනයේ අයිනාටා නගරය වෙත ඇතුළු වූ ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි.
