එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  ක්‍රියාමාර්ග ගැන චීනයෙන් ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැන චීනයෙන් ප්‍රකාශයක්

April 3, 2026   02:27 pm

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග අනවසර හමුදා මෙහෙයුම් සඳහා නීතිමය ආවරණයක් ලබා නොදිය යුතු බවත්, එවැනි ක්‍රියාමාර්ග ගැටුම් ඉහළ දමමින් ආතතීන් වැඩි කිරීමට හේතු නොවිය යුතු බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි. 

යුරෝපා කොමිසමේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත Kaja Kallas මහත්මිය සමඟ දුරකථන සංවාදයකට එක් වෙමින් ඔහු ඊයේ (02) මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, සන්නිවේදනය සහ හුවමාරු වේගවත් කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයට සහ යුරෝපයට පොදු වගකීමක් ඇති බවය.

එමෙන්ම Kaja Kallas මහත්මිය මෙහිදී සඳහන් කළේ, යුරෝපා පාර්ශ්වය එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම්, සිවිල් වැසියන් සහ හමුදා නොවන ඉලක්ක ආරක්ෂා කිරීම සඳහා සහාය දක්වන අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික කටයුතු විවෘත කිරීම සහතික කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවය.

මේ අතර මැදපෙරදිග වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul මහතා සමඟ ද ඊයේ (02) දුරකථන සංවාදයකට එක් වූ වැන්ග් යී මහතා, ගල්ෆ් කලාපීය රටවල ස්වෛරීභාවය සහ ආරක්ෂාවට ගරු කිරීමේත්, සිවිල් වැසියන් සහ හමුදා නොවන ඉලක්ක සඳහා අවශ්‍ය ආරක්ෂාව ලැබීමේත් අවශ්‍යතාව අවධාරණය කළේය.

ජර්මානු විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ, ගල්ෆ් හා මැදපෙරදිග කලාපයේ සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් චීනය හා පාකිස්ථානය ඉදිරිපත් කරන ලද කරුණු පහකින් යුත් මුලපිරීමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරයටත්, ජර්මනිය සහය දක්වමින් ඊට නිසි වැදගත්කමක් ලබා දෙන බවය.

එමෙන්ම චීනය සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට තම රට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.