සජිත් AI ද? නැද්ද ? - මුජිබර් තහවුරු කරයි
April 4, 2026 03:33 pm
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු" කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (04) තහවුරු කළේය.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කළේ ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊට පෙනී සිටීම AI තාක්ෂණයෙන් කළ එකක් බවත් ය.
මෙවන් පසුබිමක් තුළ අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙලෙස අදහස් දැක්වීය.
මාධ්‍යවේදියා -" විපක්ෂ නායකතුමා මොකද දන්නේ නැහැ මගදි නැගිටලා ගියේ ?"
පා.ම. මුජිබර් රහුමාන් - "ඒක ඉතින් එතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ."
මාධ්‍යවේදියා - "එතුමා සහභාගී වුණාද ?"
පා.ම. මුජිබර් රහුමාන් - "එතුමා සහභාගී වෙලා තිබුණා."
මාධ්‍යවේදියා - "ඔබතුමාලගේ පක්ෂයේ යම් යම් කට්ටිය කියනවා..AIවලින් ගියා කියලා ? ඔබතුමා ස්ථීර කරනවාද සහභාගී වුණා කියලා ?."
පා.ම. මුජිබර් රහුමාන් - "මහලේකම්තුමා කිව්වානේ එතුමා සහභාගී වුණා කියලා."
පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු" කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගියදා කොළඹදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දේශපාලන විචාරකයන් මෙන්ම තවත් අමුත්තනක් රැසක් එක්වී තිබුණි.
