සඳ ගමනට එක්වූ ගගනගාමීන්ට ට්‍රම්ප්ගෙන් සුබපැතුම්

සඳ ගමනට එක්වූ ගගනගාමීන්ට ට්‍රම්ප්ගෙන් සුබපැතුම්

April 7, 2026   09:46 am

සඳ වටා කක්ෂගතව සිටින Artemis ගගනගාමීන් ඉතිහාසයක් නිර්මාණය කර ඇති බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ව අමතා සුබපැතුම් එක් කර තිබේ.

"මුළු අමෙරිකාවම ඔබ ගැන ඇත්තටම ආඩම්බර වෙනවා, අතිශයින්ම ආඩම්බර වෙනවා," යැයි ඔහු ඔවුන්ට පවසා ඇත.

පෘථිවියේ ස්වභාවික උපග්‍රහයා වන චන්ද්‍රයා වටා දින 10ක ඓතිහාසික මෙහෙයුමක නිරතව සිටින අමෙරිකානු ජාතිකයින් තිදෙනා සහ කැනේඩියානු ජාතිකයා සමඟ සුහද සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ, ඔබ සියලු දෙනාම සැබවින්ම නූතන යුගයේ පුරෝගාමීන් බවය.

වසර 50කට වැඩි කාලයකට පසු නාසා (NASA) ආයතනය විසින් සිදු කරන ලද පළමු සඳ මෙහෙයුම අගය කරමින් ට්‍රම්ප් පැවසුවේ, "ඔබ කරන මේ කාර්යය සඳහා ඔබට විශාල ධෛර්යයක් තිබෙනවා" යනුවෙනි. 

අනතුරුව ට්‍රම්ප් කෙටි ප්‍රශ්නෝත්තර වාරයක් පවත්වමින්, හඳේ අඳුරු පැත්ත (dark side of the moon) කෙබඳුද යන්නත්, අභ්‍යවකාශ ගමනේ එම කොටස අතරතුර පෘථිවිය සමඟ සන්නිවේදනය ඇනහිටීම කෙබඳු හැඟීමක්ද යන්නත් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් Artemis නියමුවා වන වික්ටර් ග්ලෝවර් පැවසුවේ, "මම කුඩා යාඥාවක් කළා, නමුත් පසුව මට මගේ වැඩ කටයුතු කරගෙන යාමට සිදු වුණා. මම ඇත්ත වශයෙන්ම සඳේ එපිට පැත්ත (far side of the Moon) පිළිබඳ විද්‍යාත්මක නිරීක්ෂණ වාර්තා කරමින් සිටියා," යනුවෙනි.

ගගනගාමීන්ට ධවල මන්දිරයට ආරාධනා කරමින් ට්‍රම්ප් සිය ඇමතුම අවසන් කළේය. 

"සියලු දෙනාටම සුබ පැතුම්. මම ඔබව ඕවල් කාර්යාලයේදී (Oval Office) හමුවෙන්නම්'' ලෙස ඔහු පවසා ඇත.